Saturday, March 30, 2013

ශ්‍රී ලාංකීය දේශපාලනය තුල ග්‍රාමීය සිංහල බෞද්ධයා...



ශ්‍රී ලංකා සමාජය තුල ග්‍රාමීය සිංහල බෞද්ධ තරුණයා යනු නිදහසෙන් පසු ශ්‍රී ලාංකික ඉතිහාසය පුරාවටම රැවටීමට භාජනය වූ, විවිධ දේශපාලනික මතවාදයන්ගේ අතකොලු බවට විවිධ කාලප්‍රාන්තර වල දී පත් වූ එනමුදු තවමත් විමුක්තියක් නොලැබූ, එහෙත් රටේ ගමන් මග විවිධ අවස්තාවන්හිදී සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට තරම් අතිශය ප්‍රබල විභවයක් සහිත වූ අරුම පුදුම සමාජ කොට්ඨාශයයි.

ජවිපෙ යනු ශ්‍රී ලාංකික දේශපාලනික ඉතිහාසය තුල ප්‍රධාන වශයෙන්ම අරක් ගත් ග්‍රාමීය පීඩිත සිංහල තරුණයන්ගේ දේශපාලන පක්ශයයි. මෙයින් අදහස් කෙරෙන්නේ එය ශ්‍රී ලාංකීය දේශපාලනික ඉතිහාසය තුල පීඩිත ජනතාවට කිසියම් ඊනියා විමුක්තියක් හෝ රැකවරණයක් හෝ නිවැරදි වාම වාදී දේශපාලනික විඥ්ඥානයක් සැපයූ බව නොවේ. ග්‍රාමීය සිංහල බෞද්ධ ජනතාව එහි ඓතිහාසික යාන්ත්‍රණය තුල ජීව ශක්තිය/ඉන්ධනය/ප්‍රධාන ශ්‍රම බලකාය හා ගාමක විභවය වූ බවය. 89 විපලවයට සාපේක්ශව උගතුන්/වියතුන්ගෙන් සමන්විත වූයේයයි සම්මත 71 කැරැල්ලේදී පවා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් / උපාධිධාරීන් හා වියතුන්ගෙන් සමන්විත වූයේ පක්ශ යාන්ත්‍රණයේ ඉහල තලයේ, එනම් නායකත්වයේ පමණි. එකී ඊනියා අරගලයේදී පවා පක්ශ යාන්ත්‍රණයේ ශ්‍රම බලකාය වූයේ ග්‍රාමීය රැකියා විරහිත සිංහල බෞද්ධ තරුණයන් මිස අන් කවරෙකුත් නොවේ. එහි අ.පො.ස. උසස් පෙල තෙක් වත් ඉගෙනුම ලැබූ අය සිටියේ 5.7% පමණි. 89 තත්වය මීටත් වඩා ලොල් සහගත වන අතර ඒගැන කතා කිරීම පවා නිශ්ඵලය.

කුමනාර්ථයෙන් ගත්තද ජවිපෙ යනු සාම්ප්‍රදායික මාක්ස්වාදී චින්තනය අනුගමනය කල සාම්ප්‍රදායික වාමවාදී පක්ශයක් නොවේ. අඩු තරමේ එහි ආරම්භයේදී වත් එය එවැනි පක්ශයක් නොවීය. ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ දේශපාලන න්‍යායන් දෙස බලනකල ඔහු ඓතිහාසීය භෞතිකවාදය කෙසේ වෙතත් දයලෙක්තික භෞතික වාදය ගැනනම් ගැඹුරු දැනුමක් තිබූ අයෙකු නොවූයෙක් බැව් පැහැදිලිය. රාජ්‍ය භාෂා පනත සබැදි සිදුවීම් සමුදායත් සමග එවකට ලාංකීය සමාජයේ ඇති වී තිබූ සිංහල බෞද්ධ ප්‍රබෝධය ප්‍රයෝජනයට ගත් ඔහු සිංහල බෞද්ධ තරුණයා සිය පක්ශය වටා ඒකරාශී කරගනු පිණිස සාම්ප්‍රදායික වාමවාදී චින්තනයෙන් සම්පූර්ණයෙන් පීලි පනිමින් ද්‍රවිඩ කම්කරුවා යනු 'ප්‍රති විප්ලවවාදී බලවේගයක්' ලෙස හදුන්වමින්, 'ඉන්දියානු ව්‍යාප්තවාදය' නැමැති ඔහුගේ සුප්‍රසිද්ධ පන්තියෙන් එය න්‍යායික වශයෙන් ද ඔප්පු කරමින් ග්‍රාමීය සිංහල බෞද්ධ තරුණයා සිය පක්ශය වෙත බිලී බා ගත්තේය. ඔහු මෙය අවංක විප්ලවවාදී අරමුණකින් ඉටු කලේද නැති නම් පැවති සමාජීය දේශපාලනික තත්වය උපක්‍රමශීලීව ප්‍රයෝජනයට ගත්තේද යන්න පැහැදිලි නැති වුවත් විජේවීරගේ දේශපාලන න්‍යායන් පිලිබද විග්‍රහයකට යාම මෙම ලිපියේ අරමුණ නොවන බැවින් ඒ පිලිබද තව දුර විග්‍රහයකට යාම මෙතනින් නවත්වමි.

අද වන විට ජවිපෙ තුල මෙම සිංහල බෞද්ධ ග්‍රාමීය තරුණයා කෙරෙහි තිබූ ග්‍රහණය සම්පූර්ණයෙන්ම පාහේ නැති බංගස්තාන කොට මහින්ද රාජපක්ශ රජය එය සිය දේශපාලනික ව්‍යාපාරයේ ප්‍රධානතම බලවේගය බවට පත් කොට ඇත. ග්‍රාමීය සිංහල බෞද්ධ ඡන්දය ඔහුගේ ප්‍රධානතම තුරුම්පුවයි. විජේවීර වෙනුවට රැකියා විරහිත ග්‍රාමීය තරුණයාගේ ගැලවුම් කරුවා බවට නාමල් රාජපක්ශ බවට පත්ව ඇත. විශ්ව විද්‍යාල වරම් නොලැබූ ග්‍රාමීය තරුණයින් කෙතරම් ප්‍රමාණයක් සිය විමුක්තිය උදෙසා නාමල් රාජපක්ශ වෙත වසරකට පිහිට සොයා එන්නේ දැයි මදක් අවධානය යොමු කල විට මෙය උදක්ම පැහැදිලි වනු ඇත. එහෙත් මෙය කිසි සේත්ම ග්‍රාමීය තරුණයා වෙත ආලෝකය උදා වීමක් නම් නොවේ.

1948 අප නිදහස ලබා ගත්තද අද වන තාක් යටත් විජිත සමයේදී විනාශ වූ ගැමි ජනයාගේ සමාජ සංවිධානගත පැවත්ම සහ ඔවුන්ගේ ජීවන තත්වය ආරක්ශා කිරීමට, එය නැවත ගොඩනැගීමට හා ඔවුන්ට සාර්ථක විකල්පයක් සැපයීමට කිසිදු දේශපාලනික බලවේගයක් සමත්ව නැත.එවන් උවමනාවක් හෝ ඒ සදහා අවශ්‍ය නිවැරදි දැක්මක් හෝ සාර්ථක රාජ්‍ය ප්‍රතිපත්තියක් කිසිවෙකුටත් තිබුනේද නැත. සමස්ත ආර්ථිකය මුල් කරගත් පාලන රටාවක් වූ යටත් විජිත සමය තුල විනාශ වූ වාරිමාර්ග, අහිමි වූ ඉඩම් හා ආදේශක භාණ්ඩ, විවුර්ත ආර්ථික ක්‍රමය වැනි සංසිද්ධි ගනනාවක් නිසා පැවති ජීවන ක්‍රමය අවුල් වියවුල් වීඅසරණ වූ ඔවුන් අද එලොවටත් මෙලොවටත් නැති පිරිසක් බවට පත්ව සිටී. නිදහස් අධ්‍යාපනය නිසා එල්ලීමට යම් පිදුරු ගහක් තිබ්බද, වසරකට බිහිවන උපාධිධාරීන් සංඛ්‍යාවට සරිලන රැකියා ප්‍රමාණයක් සැපයීමට නොහැකි නිසා ග්‍රාමීය තරුණයා අදටත් පීඩිත අසහනකාරී අතෘප්තිකර සමාජ කොට්ඨාශයක් බවට පත්ව සිටී.

මෙම අර්බුදයට නිවැරදි විසදුමක් ලබන තෙක් විවිධ දේශපාලනික පක්ශ ඉදිරියටත් ඔවුන්ව සිය සුඛ විහරණය සදහා බිලී බාගනු ඇත. ඔවුන්ව නිවැරදි දේශපාලනික විඥ්ඥානයක් සහිත සත්වයන් බවට පත්වන තුරු රස්සාවට, ගමේ පාරට, පෞද්ගලික උදව්වට ඡන්දය දෙන ඔවුන් තුලින් බිහි වන ත්‍රාඩ දේශපාලනයද නොනවතිනු ඇත. මන්ද දේශපාලකයා යනු අමුතු සත්වයෙකු නොව එකී රටේ ජනතාවගේම ප්‍රතිබිම්භයක් වන බැවිනි. නමුත් මෙකී අර්බුදයට ස්ථිර සාර විසදුමක් දීමට දේශපාලකයාට ද උවමනාවක් නැත. මන්ද මෙම පීඩිත සමාජ පන්තිය ඉදිරියටද සිය දේශපාලනික මතවාදයන් වෙනුවෙන් බිලී බා ගැනීමට ඔවුනට අවශ්‍ය නිසාය.

No comments:

Post a Comment