Sunday, October 9, 2011

ශ්‍රී ලාංකේය සුභාවිත සංගීතයේ නිර්මාතෘ - අමරදේව - 1 කොටස


(ජීව දත්ත සදහා ඇසුර - ශ්‍රවණ මාධූර්යයේ ගායන ප්‍රතිබිම්භය, විමල් අභයසුන්දර - අමරදේව චිරං ජයතු, සුනිල් ආරියරත්න)

ඉර හද නාදුනන්නෝ මිහිපිට වෙසෙත් ද? අහස පොලව නාදුනන්නෝ මිහිපිට වෙසෙත් ද? ඇල දොල ගංගා නාදුනන්නෝ මිහිපිට වෙසෙත්ද? එනයින් අමරදේව යන ශ්‍රවන රමණීය නාමයෙන් හදුන්වන මහා ගාන්ධර්වයා නාදුනන්නෝ මේ ශ්‍රී ලංකා ධරණීය තලයේ වෙසෙත් ද?
                              - මහාචාර්ය සුනිල් ආරියරත්න-


සැබැවින්ම අමරදේවයන් පිලිබද පැවසීමට අටුවා ටීකා පෙරවදන් අවශ්‍ය නැත. අවිවාදයෙන්ම ශ්‍රී ලංකා ද්වීපයේ පහල වූ සංගීත කලාවේ යෝධයා අසමසමයා ඔහුය. ඔහුට සමකල හැක්කෙක් මෙතෙක් නොවූවා සේම ඉදිරියට වේ ද යන්න සැක සක සහිතය.
          අමරදේවයන් හුදු ගායකයෙකු පමණක් නොවේ. ඔහු අසමසම වන්නේ ඔහුගේ මධුර ගායන කෞශල්‍ය නිසාම නොවේ. ඔහු අද්විතීය වාදකයෙකු මෙන්ම ඒ සියල්ලටමත් වඩා අසමසම සංගීත ප්‍රාඥ්ඥයෙකු වෙයි. වර්තමාන ශ්‍රී ලාංකීය සංගීතයට අනන්‍යතාවක්, ශ්‍රී ලාංකේය සංගීත සම්ප්‍රදායක් පවතින්නේ ඔහු නිසාය.   
        හෙල සංගීත කලාවේ යෝධයන් තිදෙනෙකු වෙයි. ශ්‍රී ලාංකීය සංගීතය අගාධයන්හි වැටී තිබෙන කාල වකවානු වලදී එය කර තබා ගත්තේ මොවුන් තිදෙනාය. ඒ ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත හා පණ්ඩිත් අමරදේවයන්ය.  
         සමරකෝන් මෙරට ස්වත්‍රන්ත ගීත කලාවක් බිහි කල අතර සුනිල් ශාන්තයන් බටහිර සංගීතය හමුවේ හෙල සංගීතය වැලලී යන මොහොතක නැවත එම ගීත කලාව ඉහලට ගෙන ඒමට සමත් විය. නමුත් මේ දෙදෙනාටම සංගීතමය මහා සම්ප්‍රදායක්, වෙනත් අයුරකින් කිවහොත් දේශීය අනන්‍ය තාවයකින් හෙබි හෙල සංගීත කලාවක් බිහි කිරීමට නොහැකි විය. එම ඌණ පූර්ණය සිදු කලේ අමරදේවයන්ය. එබැවින් මෙම තිදෙනා අතර අද්විතීයම සංගීතඥයා අමරදේවයන් වෙයි.
           ලෝකයේ ඇත්තේ මහා සංගීත සම්ප්‍රදායන් දෙකක් පමණි. යුරෝපීය සංගීත සම්ප්‍රදාය හා භාරතීය සංගීත සම්ප්‍රදායය. ලෝකයේ අනෙකුත් සංගීත සම්ප්‍රදායන් මහා සම්ප්‍රදායන් ගනයට ගත නොහැක. ඒවා හුදු සංගීත ශෛලීන් පමණකි. ඒවායේ මුල් බැසගත් ආධ්‍යාත්මික ගැඹුරක්, දියුනු සංගීතමය පද්ධතියක්, තාල පද්ධතියක්, ගායන තාක්ශනික ක්‍රම ආදී තවත් අනේක විධ ලක්ශණ වලින් අඩුපාඩුකම් දක්වයි. අප අනන්‍ය වූ සංගීත සම්ප්‍රදායක් ගොඩ නැගීමටනම් මෙම සම්ප්‍රදායන් දෙකෙන් එකක් ඇසුරු කල යුතු බව අමරදේවයන් වටහා ගත්තේය. ඒ සදහා ඔහු තෝරා ගත්තේ අපට වඩාත් සමීප වූ භාරත සංගීත සම්ප්‍රදායයි.
            කුඩා කල සිටම පල්ලියේ ගීතිකා ගායනා කිරීමටත් පන්සලේ දොරකඩ අස්න කීමටත් ඔහුට අවස්ථාව ලැබුනේ ඔහු සතු නිසග ගායන කෞශල්‍යය නිසාමය. කුඩා කලදී ඔහු වැඩි ලෙසම යොමු වූයේ ගායනයට නොව වයලීන වාදනයටය. සිය හත්වන වියේදී පියා වෙතින් තෑගි ලැබුනු වයලීනය වාදනයට ඔහු මහත් ලෙස ඇලුම් කල අතර ඊට ඉමහත් දක්ශතාවයක්ද දැක්වීය. 
          සිය පාසල් වියේදීම දීප ව්‍යාප්ත ගායන හා වාදන තරග තුලින් ඉමහත් ජනප්‍රියතාවයක් හිමි කරගත් ඇල්බට් ( අමරදේවයන්ගේ මුල් නම ) පසු කලෙක ගවුස් මාස්ටර් විසින් ඔහුගේ කෞශල්‍ය හදුනා ගැනීමත් සමගම ඔහුගේ වාද්‍ය මණ්ඩලයේ ප්‍රධානියා බවට පත් කර ගනු ලැබිනි. මෙකල ගුවන් විදුලි වාද්‍ය මණ්ඩලයටද සම්බන්ධ වූ තරුණ අමරදේවයන්ගේ හැකියාව පිලිබදව ගවුස් මාස්ටර් නොබෝ කලෙකින්ම අතිශය පැහැදීමට හා ප්‍රසාදයට පත් විය.ඉන් පසු ඔහුගේ ගුරු හරුකම් හමුවේ සිය නිසග සංගීත ඥානය විදහා ලමින් නොයෙකුත් ගීතයන් හා නාට්‍යයන් සදහා සංගීත නිර්මාණය කිරීමට ඔහු යොමු විය.
                 ඔහුගේ දිවියේ වැදගත්ම හා ස්වර්ණමය අවස්ථාවක් වන්නේ ඉන්දියාවේ භාත්කන්ඩේ විශ්ව විද්‍යාලයේ විද්‍යාලාධිපති ශ්‍රී රත්නජන්කර් පඩිතුමා ගුවන් විදුලි සංගීත ශිල්පීන් වර්ගීකරණය කිරීමට ලංකාවට පැමිණීමය. එහිදී අමරදේවයන්ගේ අති සුවිශේශී වූ හැකියාවන් දුටු රත්නජන්කර් පඩිතුමා ඉහලම ශ්‍රේණියේ ගායකයා ලෙස ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරාත් ගායිකාව ලෙස කෝකිලාදේවී වීරතුංගත් තෝරාගත්තේය.
        ඉන් පසු භාරතයේ භාත්ඛන්ඩේ විශ්ව විද්‍යාලයේ සංගීතය හැදෑරීම සදහා පිටත්ව ගිය ඔහු එහිදී ශ්‍රී විශ්ණු ගෝවින්ද්, ජෝග් උස්මාන් ඛාන්, මඛ්ශූඩ් අලි ඛාන් වැනි අග්‍ර ගන්‍ය සංගීතඥ්ඥයින් ගෙන් ශිල්ප හැදෑරුවේය. මෙහිදී සුවිශේශී සිදුවීමක් ලෙස සදහන් කල යුතුව ඇත්තේ අමරදේවයන්ගේ කලා කෞශල්යය පිලිබදව අතිශය පැහැදීමට පත් ගෝවින්ද් පඩි තුමා සිය පුත්‍රයාගේ කුලුදුල් පුතුට අමරදේව යනුවෙන් නම තැබීමය. 1955 දී සමස්ත ඉන්දීය වයලීන වාදන තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් අමරදේවයන් ඉන්පසු නොයෙකුත් රටවල සංචාරයේ නිරත වෙමින් ඒවායේ සංස්කෘතිකාංග අධ්‍යනයේ නිරත විය.
          තවත් සදහන් කල යුතු විශේශ කරුණක් වන්නේ 1971 දී මාලදිවයින් රජයේ ආරාධනයෙන් එහි ගොස් කල පර්යේශනයකින් පසු මාලදිවයින් ජාතික ගීය නිර්මාණය කිරීමය. තවද මෙකල ඔහු ලැබූ අනේක විධ සම්මානයන්, පදවි තනතුරු , නොයෙකුත් පර්යේශණයන් හා සංගීතය සැපයූ නිර්මාණයන් අප්‍රමාණ බැවින් ඒ සියල්ල මෙහි සදහන් කිරීම නොකල හැක්කකි.  
          භාරත අධ්‍යාපනයෙන් පසුව නැවත ලංකාවට පැමිනි අමරදේවයන් කල මූලික්මා කාරණය වන්නේ දේශීය අනන්‍යතාවයකින් යුතු සංගීත පද්ධතියක් සදහා පර්යේශන කිරීමය. හෙල ජන සංගීතය බොහෝ විට සමන්විත වන්නේ සීමිත ස්වර පරාසයකින් හා සරල තාල පද්ධතීන්ගෙනි. කල්පවත්නා දියුනු සංගිත සම්ප්‍රදායක් සදහා මෙය නොසෑහෙන බව වටහා ගත් අමරදේවයන් සිය අති විශිෂ්ඨ වූ සියුම් සංගීත ඥානය උපයෝගී කොට ගෙන සූක්ශම ලෙස හෙල ජන සංගීතය භාරතීය සංගීත සම්ප්‍රදාය හා සම්බන්ධ කොට ශ්‍රී ලාංකේය සුභාවිත ගීත සම්ප්‍රදාය බිහි කලේය. ශ්‍රී ලංකාවේ එදා සිට අද දක්වා පවතින්නේ අමරදේවයන් බිහිකල මෙම ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් හෙබි ගීත සම්ප්‍රදායයි. 
            අමරදේවයන් විවිධ සංගීත පද්ධතීන් ඇසුරු කලද ඔහු ඒ එකකටවත් වහල් වූවෙකු නොවීය. ඔහුගේ සංගීත නිර්මාණයන්හි පවතින විචිත්‍රත්වය සුනිල් ආරියරත්නයන්ගේ පහත ප්‍රකාශයෙන් මොනවට හෙලි වෙයි.
         "ජගන් මෝහිනී", "පාරමිතා බල පූජිත" වැනි නිර්මාණ වලින් උත්තර භාරතයේ උපන්, "ඔබේ නමින් සෑය බදිමි", "ඉරට මුවාවෙන්" තුලින් දක්ෂිණ භාරතයේ උපන්, "ගලන ගගකි ජීවිතේ", "සදුන් ගසේ" තුලින් යුරෝපයේ උපන්, "කැලේ ගහක මල් පිපිලා"තුලින් යක් දෙස්සෙකුව උපන්, "රන්වන් කරල් පැසෙයි" තුලින් උඩරට උපන්, " කිරණින් සොමි සද" තුලින් විරිදු ගායකයෙකුව වූ, "ආලෙ බැන්ද මාගෙ රම්‍යවන්" තුලන් නූර්ති ශිල්පියෙකුව වූ, "මාගේ පන වැනි සෝමාවතී" තුලින් නාඩගම් කරුවෙකුව වූ, "පිපී පිපී රේණු නටන" තුලින් බයිලා ගායෙකුව වූ අමරදේවයන් අපට දැක ගත හැක.
           වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, දයාරත්න රණතුංග ආදී එකී මෙකී නොකී ඉන්පසු බිහි වූ සියලුම විශ්ෂ්ඨ සංගීත ශිලිපීන් සියල්ලම අමරදේව ගීත සම්ප්‍රදායේ අනුප්‍රාප්තිකයෝය. ඉන් එහාගිය ශ්‍රී ලාංකේය අනන්‍ය සංගීත සම්ප්‍රදායක් බිහි කිරීමට තවමත් මෙතෙක් කිසිවෙකු සමත්ව නැත. මෑත කාලීන යුගයේ බිහිවූ අති විශිෂ්ඨ සංගීත ශිල්පීන් වන කසුන් කල්හාර, නදීක ගුරුගේ, නදීක ජයවර්ධන, ඉන්ද්‍රචාප ලියනගේ කුලකය යම් වෙනසක් කරා ඇදී යමින් සිටියද ඔවුන්ගේ නිර්මාණ තුලද අමරදේව ගීත සම්ප්‍රදායික ලක්ශණ බෙහෙවින් ගැබ්ව පවතී. 
                  අමරදේවයන් මෙරට සංගීත කලාවට කල සේවය අනුපමේයය. විශිෂ්ඨය. ඔහු හා සම කෙනෙක් නැත. ඔහුගේ සංගීත ඥානයට අලගු තැබීමටවත් කෙනෙක් මෙතෙක් බිහිවී නැත. ඔහුගේ සංගීතමය දාර්ශනික පොහොසත්කම විදහාපාන නාද සිත්තම් කෘතිය රාජ්‍ය සම්මානයට පාත්‍ර වුයේද මෙම නිසාය.   ( 2 කොටසට මතු සම්බන්ධයි )

Saturday, October 8, 2011

ආගම හා නිදහස් චින්තනය...




















සැබැවින්ම මානව සමාජය තුල උපතින් අපට උරුම වන ආගම අපේ නිදහස් චින්තනයට බාධාවක්ද? එසේ බාධාවක් වුවද ඒ හැරෙන්නට සාර්ථක විකල්ප සමාජ ආකෘතියක්  අපට තිබේද? සැබැවින්ම නිදහස් චින්තනය යනු කුමක්ද? බොහෝ නිරාගම්වාදීන් මේ පිලිබදව පොට පටලවාගෙන සිටින බව මගේ හැගීමයි. පහත දැක්වෙන්නේ පසුගිය දිනක මේ පිලිබදව යම් සංවාදයක නියැලුනු මා විසින් අදාල එක් නිරාගම්වාදී සොහොයුරෙකුට ලබා දුන් පිලිතුරකි. 




ඔබේ පරශ්නයේ පදනම පැහැදිලිව ඉදිරිපත් කරන්න යයි කී විට **** සහෝදරයා ඉතා පැහැදිලිව ඔහුගේ ස්ථාවරය ඉදිරි පත් කලේය. ඒ පහත පරිදිය.

//යම් පුද්ගලයෙකු ආගමක් විශ්වාස කරන්නේ ඔහුගේ පියාගේ ආභාශය මතය.ඔබ බෞද්ධ වූවේ ඔබේ පියා බෞද්ධ වූ නිසා නොවෙද? පියා වෙනත් ආගමිකයෙකු වූයේ නම් ඔබ අද එම ආගමේය. පියා සංසාර චක්‍රය පිලිගතහොත් ඔබත් එය පිලිගනී. පියා අල්ලාහ් පිලිගතහොත් ඔබත් පිලිගනී. පියා මහාබ්‍රහ්මයා පිලිගතහොත් ඔබත් පිලිගනී.මිනිසාගේ නිදහස් චින්තනයට හා බුද්ධියෙ වර්ධනයට බධාකර ඇති අයුරු බලන්න. විකල්පය නම් සෑම දරුවෙක්ම බලහත්කාරීව ආගමට යොමු නොකර සියළු ආගම් වල හරයන් ඉගැන්වීම තුලින් යම් දිනෙක ඔවුන්ට කැමති ආගමක් පිලිගැනීමට හෝ කිසිදු ආගමක් පිලි නොගැනීමට හෝ අයිතිය ලබාදීමයි. //

මෙහි යම් සත්‍යයක් ඇත.. ඇත්ත වශයෙන්ම ලොකු සම්භාවිතාවක් ඇත. නමුත් මෙම සම්භාවිතාවේ ප්‍රමාණය විවිධ සාධක මත රදා පවතින බව අපට ප්‍රත්‍යක්ශයක් වශයෙන්ද, ප්‍රායෝගිකවද දැක ගත හැක.


මේ සාධක අපට බාහිර හා අභ්‍යන්තර ලෙස වර්ගීකරණයක් කල හැක. ආගමේ හෝ දර්ශනයේ අන්තර්ගත වන රීති හා එහි දාර්ශනික ප්‍රවේශය අභ්‍යන්තර වන අතර එය ග්‍රහනය කොට ගෙන සිටින බාහිර සමාජමය ස්වරූපය බාහිර වේ.කුඩා දරුවෙකුට මෙම බාහිර සමාජය යන කාරණය ප්‍රධාන වශයෙන් සිය පවුල් ඒකකයට ඌණනය වේ.


අභ්‍යන්තරික සාධක පමණක් සැලකිල්ලට ගැනීමේදී එවැනි බලහත් කාරයකට, බල කිරීමකට බුද්ධ දර්ශනය තුල කිසි සේත් ඉඩ නැති බවත් එය සාර්ව ප්‍රජාතාන්ත්‍රික දර්ශනයක් බවත් සියලුම දෙනා පිළිගත යුතුය. එය ඔබද මමද දනී. එහි දාර්ශනික ප්‍රවේශය, විමුක්ති මාර්ගය තුල එවැනි කිසිදු පැසිස්ට්වාදයකට අබ මල් රේණුවක ඉඩක් නැත.


එම නිසා ඔබ මේ ඉදිරිපත් කරන තර්කය පූර්ණ බාහිර සාධක පමණක් සලකා සංවාදයට බදුන් විය යුතුය. එහි දාර්ශනික හරය හා නිවැරදිතාවය ගැන මෙහි තර්කයක් නැත. එම අභ්‍යන්තරය ගැන ප්‍රශ්නයක් ඔබට ඇත්නම් එය වෙනත් සංවාදයක් තුලින් නිරාකරණය කල යුතු අතර මේ පේජය තුලදී බුද්ධ දර්ශනය හමුවේ ලොව බිහිවූ තවත් ශ්‍රේශ්ඨතම දර්ශනයක් වන දයලෙක්තිකය නට්ටං වී ගිය අයුරු මෙහි සිදු වූ දේ වලින් ඔබටම නිරීක්ශනය කළ හැකි වනු ඇත.


හොදයි එහෙනම් අපි මෙම සංවාදය බාහිර සාධක මත පදනම් ව කරගෙන යමු. මේ දෙක පටලවා ගැනීමෙන් කාටවත් සෙතක් නැත.


පෘතග්ජන මිනිසුන්ගේ සියලු දෘශ්ඨීන් සාපේක්ශ හා අනන්‍ය වේ. බුදුවරුන් දෙදෙනෙකුගේ ලෝක දෘශ්ඨිය හැරෙන්නට අනෙකුත් කිසිදු අනාගත අතීත හෝ වර්තමාන මනුශ්‍ය ප්‍රාණියෙකුගේ දෘශ්ඨිය සර්ව සමාන වීමේ හැකියාවක් නැත. තම මිතුරා, මව කෙරෙහි දක්වන ආකල්පයේ සිට, ඔහුගේ දාර්ශනික ලෙස ලෝකය ග්‍රහනය කර ගැනීම වැනි සංකීර්ණ අවස්ථා දක්වා සැලකූ විට ඕනෑම මනුශ්‍ය ප්‍රාණින් දෙදෙනෙකුගේ චින්තන රටාව අනන්‍ය වේ.


මිනිසාගේ නිසග හා සදාතනික ස්වභාවය වනුයේ තම දෘශ්ටිය අනෙකුත් දෘශ්ඨීන් අභිභවා ජයග්‍රහනය කරනු දැකීමේ අභිලාශයයි. එය මානවයින් සතු ගුණාංගයක් මෙන්ම අත්‍යාවශ්‍ය මානවීය ගුණයක් ද වේ. එය නැත්නම් ලෝකය අද සිටින තැනට සමාජමය වශයෙන් පරිණාමය වීම උගහටය. ලෝකයේ දැනුම ප්‍රචාරණය වන්නේත් විද්‍යවේ ජයග්‍රහනයන් මෙතෙක් දුර ආවේත් ( දැවැන්ත නිව්ටෝනියානු භෞතිකය දෙදරවූ විශේශ හා සාමාන්‍ය සාපේක්ශතාවාදය අයින්ස්ටයින් ඉදිරිපත් නොකරනු ඇත. මැක්ස් ප්ලාන්ක් බටහිර විද්‍යාවේ මහා විප්ලවයක් වූ ක්වොන්ටම් භෞතිකයට අත්පොත් නොතබනු ඇත. ), කලාව සාහිත්‍ය වර්තමාන තත්වයට පරිණාමනය වූයෙත් මිනිසා සතු මේ නිසග ගුණය නිසාය. මේ නිසග මානුශීය ගුණාංගය කප්පාදු කර දැමීම යථාර්තයක් නොවන සිහිනයක් පමණක් වන අතර බැරි වෙලාවත් සිහිනයක් තුලදී හෝ එය සිදු වුවහොත් ලෝක ප්‍රගමනය එයින්ම නවතිනු ඇත.


මෙන්න මේ නිසග මානුශීය ගුණය නිසා ඔබ කියන දෙයෙහි යථාර්ථවාදී බව පොඩ්ඩක් අඩු වෙනවා සහෝදරයා. උදාහරණයක් විදියට අපේ ගෙදර තාත්තා ගමු. ඔහු දැඩි කතෝලිකයෙකු බව උපකල්නය කරමු. එවිට ඒ ගෙදර පවතින්නේ කතෝලික වටපිටාවයි. එවිට ගෙදර උපදින පොඩි එකාට නිසගයෙන්ම ලබෙන්නේ කිතුනු ආභාශය නෙමේද? මන්ද පියාගේ දෘශ්ඨිය කතෝලික වන අතර ඔහු ලොකයේ පැවැත්ම හා එහි අරමුණ කිතුනු වාදී දෘශ්ඨියකින් ඔහුට සාපේක්ශව සාධාරණ ලෙස දකී. ඔහුට අනුව එය නිවැරදිය. එවිට මා ඉහත කියූ මානුශීය ගුණය නිසා ඔහු තම නිවසේ තම දෘශ්ඨිය ජයග්‍රහනය කරනු ලැබීම දැකීමට කැමතිය.


ඔහු සිය පොඩි එකා උකුලට ගෙන නලවමින් කියා දෙන්නේ මෝසස් පිලිබද කතන්දරය. ජේසු තුමන් පිලිබද කතන්දරය . මරියතුමියගේ කථාවය. ඒ තම පුත්‍රයාට තිබෙන අප්‍රමාණ ස්නේහය නිසාය.පොඩි එකා එහා ගෙදර පොඩි එකා සමග රණ්ඩු කරන විට උකුලට ගෙන ආදරයෙන් "පුතේ ජේසු තුමා කිව්වා මතකයි නේද අසල්වැසියාට ප්‍රේම කරන්න දෙවියො පුතා දිහා බලාගෙන ඉන්නෙ යයි පවසනු ඇත". මන්ද ඒ ඔහුව අනුව නිවැරදි දෘශ්ඨියයි. තම කුඩා නිවැරදි මග ගොස් අගතියට නොගොස් ස්වර්ගය කරා යනු දැකීම ඔහුගේ එකම අභිලාශයයි.


එහෙම නැතුව අවුරුදු 4 පොඩි එකාට "පුතේ එහා ගෙදර ලමයා එක්ක රණ්ඩු කරන්න එපා මමනම් එහෙම හිතන්නෙ ජේසු තුමා කියපු නිසා. ඒත් ඒක හරියටම හරිද දන්නෙ නෑ. ඔයාම හොයල බලන්න" ,නැත්නම් "පුතා ඒක සමාජ සාරධර්ම වලට අනුකූල නෑ. නැත්නම් වෙන ප්‍රශ්නයක් නෑ " යයි පවසන අවස්ථාවක් ගැණ සිතීම හුදු හිතලුවකි. එයට එක් හේතුවක් නම් කිතුනු භක්තිකයෙකු වූ පියා තමා සිටින්නේ නිවැරදි මාර්ගයේයයි දැඩිව විශ්වාස කරන අතර සිය පුතා අගතියට යාම ඔහුගේ පුත්‍ර ප්‍රේමයට නුහූලන නිසාය. දෙවන කාරණය තම දෘශ්ඨිය ජයග්‍රහනය කරනු වස් දැකීමේ ඔහු තුල ඇථි නිසග මානුශීය ගුණයය. තුන්වන කාරණය මෙවැනි දෙයක් තේරුම් ගැණීමට අවුරුදු 4 පොඩි එකාට නොහැකි වීමය. මෙවැනි කතා 10ක් 15ක් දවසකට ඇසුවහොත් ඒ පොඩි එකාට පිස්සු වැටෙනු ඇත.එමෙන්ම කුඩා දරුවෙකු නිවැරදිව සමාජානුගත වීමේදී එකී නිවස තුලින් දෘශ්ඨිය ලැබීම් ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. මන්ද කුමන දෘශ්ඨියක් වුවද, කුමන වෙනස් කම් තිබ්බද සමාජ සාරධර්ම වලට එම දෘශ්ඨිය අනුකූල වන නිසාය. දෘශ්ඨිය නොලැබෙන වීදි දරුවන් නිවැරදිව සමාජානුගත නොවන්නේ ත් එම නිසාය.


මේවා පවුලක් තුල පවතින උත්තර මානුශීය සම්බන්ධතා වන අතර ඒවාට නීති පනවන්නටත් අතගසන්නටත් යාම ප්‍රායෝගික නොවන අතර බැරි වෙලාවත් එසේ කිරීමට කවුරු හෝ සමත් වුවහොත් ඉතිහාසයේ පුත්‍ර පිය ප්‍රේමය නැති කල අමනයා ලෙස ඔහු ඉතිහාස ගතවනු ඇත.


ඔබේ අභිලාශය වන්නේ විවිධ දෘශ්ඨීන් ගැන සංවාදයට බදුන් වන, කරුණු දක්වන, එමගීන් දෘශ්ඨීන් තහවුරු කරගන්නා, සමාජයක් ගැණය. එම සමාජයේදී මා ඉහත කියූ නිසග මානුශීය ගුණය වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. මන්ද යම් දර්ශනවාදයක් වෙනුවෙන් පෙනී සිටින්නේත්, ඒ වෙනුවෙන් සංවාද කරන්නේත් එම දර්ශනවාදයේ නිවැරදි භාවය දැඩිව විශ්වාස කරන පුද්ගලයින් වන අතර තම දෘශ්ඨිය අනෙකුත් දෘශ්ඨීන් මත ආධිපත්‍යමය දෘශ්ඨිය වනු දැකීම අන් ඕනෑම මානවයෙකුගේ මෙන්ම ඔහුගේද අභිලාශයයි. මෙම තත්වය වෙනුවෙන් පෙනී සිටින ඔබ පියාගේ අභාශය දෘශ්ඨිය හය හතර නොතේරෙන දරුවෙකුට ලැබීම සම්බන්ධයෙන් විරුද්ධවේ. මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උභතෝකෝටික වේ.


උදාහරණයක් ගන්න. ඔබ මෙතන කරන්නේ කුමක් ද? ඔබේ අභිලාශය ( ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබේ උප විඥ්ඥානය විසින් ) ඔබේ මතය අප තුලට කා වැද්දීමට උත්සාහ කිරීමය. මා කරන්නේද එයමය. දැන් අපි දෙදෙනාගේ දරුවන් සලකා බලමු. ඔබ ඔබේ දරුවාට ඔබේ දෘශ්ඨිය ගෑවීමට ඉඩ හරින්නේ නැද්ද? ( සියලු දෘශ්ටීන් විමසා බැලීමට ඉඩ දෙනු යන ඔබේ දෘශ්ඨියද, මගේ දෘශ්ඨියට වඩා තරමක් ලිබරල් වාදී බවින් වැඩි වුවද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය තවත් එක් ලෝක දෘශ්ඨියක් පමනි. ). අනෙක් අතට බෞද්ධයෙකු වන මා, මා නිවැරදි යයි දැඩිව විශ්වාස කරන අතර මගේ පුතා අපා ගත වීමට ඉඩ දී බලා හිදීද??එසේ කලහොත් ලෝක ඉතිහාසයේ නින්දාසහගතම පියවරුන් අප දෙදෙනා වනු ඇත. නිතැතින්ම මගේ පුතා පන්සලට යොමු කිරීමටත් ධර්මශ්‍රවණය කිරීමටත් යොමු කිරීමට මා පෙලබේ. මෙවැනි මානව සබදතා වල අත පෙවීම වීහිලුවකි. දැනට තිබෙන සමාජය හා ඔබ සිහින දකින සමාජය තුලදීද මෙය යථාර්තයක් නොවන ෆැන්ටසියකි.


අනෙක් අතට ඕනැම මතවාදයක් පැවතීමටනම් ඒ මතවාදය නියෝජනය වීමේ මාධ්‍යයක් ලංකාව තුල තිබිය යුතුය. බුදු දහමේ එම මාධ්‍යයන් වන්නේ සංඝයා වහන්සේ, පන්සල් හා දහම් පාසල් ය. එම නිසා ඒවා අහෝසි කර දැමීම දරුණු ආකාරයේ පැසිස්ට් වාදී ක්‍රියාවක් වන අතර එය ඔබේ දෘශ්ඨියට සම්පූර්ණයෙන් පටහැනි වේ.


ඇනික ඔය යකා කියන තරම් කලු නැත. මම ආගමික ග්‍රන්ථ වශයෙන් පමණක් මේ වන විට කුරාණය හා බයිබලය කියවා ඇත්තෙමි. ඒවායින් ජීවිතයට ගත යුතු දෙය ගත්තෙමි..නලින් ද සිල්වාගේ මතයන් අධ්‍යනය පසු ගිය කාලයේ ආරම්භ කලෙමි. ඕනෑම කෙනෙකුට ඕනෑම දර්ශනයක් අධ්‍යනය කිරීමේ නිදහස වටපිටාව අවශ්‍යනම් ලගා කරගත හැක. අනික ඔය කියන තරමේ අන්ධ භක්තියක් තොරතුරු තාක්ශණයේ දියුනුවත් සමග අද ලාංකික තරුණ පරපුර තුල නැත. ( අතීත සංවෘත සමාජය තුලනම් ඔය කාරණය තරමක් දුරට සත්‍යය ) බෞද්ධ සාහිත්‍ය, ජාතක කතා හා බුද්ධ දර්ශනය වෙන්කර හදුනා ගත නොහැකි අවුරුදු 20, 21 තරුණ ගැටයෙකු ඔබට සොයාගැනීමට අපහසු වනු ඇත .( ඕනෑනම් මෙතන සිටින තරුණ බෞද්ධයින් ගෙන් අසා බලන්න ). එමෙන්ම බුදු පිලිම වලින් රැස් විහිදුනායයි කී විට කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතුව සාදුකාර දුන් තරුණ ගැටයෙකු සොයා ගැනීමට ඔබට නොහැකි වනු ඇත. අකුණු සැර වදින විට සාදුකාර දෙන තරුණ ගැටයෙකු ඔබට සොයා ගැනීම්ට අපහසු වනු ඇත.


කෙනෙකුට සිය ලමා කාලය තුලින් යම් දෘශ්ඨියක ආභාශය ලැබීම නොවැලැක්විය හැකි මෙන්ම එය සමාජ පැවැත්මට අත්‍යාවශ්‍ය වේ. දැනුම් තේරුම් ඇති වයසට ආ විට තොරතුරු තාක්ශනයේ දියුණුවත් සමග ඕනෑම කරුණක් විමසා බැලීමට මිනිසා නිතැතින්ම පෙලබෙන අතර ( මා ඉහත කී තරුණ පරපුරේ වෙනස පවතින්නේ මේ නිසාය ), එසේ කිරීමට නිදහස ඕනෑ තරම් ඇත. තමාගේ දෘශ්ඨිය සත්‍යයයි සිතන කෙනෙකුට එසේ නොකර සිටීමට ද නිදහස ඇත. එසේ නැතිව සියලු දර්ශනවාදයන්, ඔබ සදහන් කල පරිදි ලදරු අධ්‍යාපනය තුලින්, බලහත්කාරයෙන් ලමා මනස තුලට ඇතුල් කිරීමේ ක්‍රියාදාමයකට ගිය හොත් ( විශයක් බලහත්කාරයෙන් ඉගැණ්වීම හා ලෝක දෘශ්ඨියක් බලහත් කාරයෙන් ඉගැණ්වීම අතර වෙනස තේරුම් ගැණීමට තරම් ඔබ බුද්ධිමත් යයි සිතමි. ) ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුවේ.

එකක් එහි ප්‍රායෝගිකත්වයය.අනික දර්ශනයන්, ආගම් කියල කීයක් උගන්නන්නද?. අනික ලමා මනසකට දෘශ්ඨිමය වශයෙන් බලපාන්නේ ගෙදර පරිසරය මිස පාසලේ පැය ගණනකදී උගන්වන දේ නොවේ. ඊට වඩා කාර්ය භාරයක් හා ඉගෙනීමේ නිදහසක් මා ඉහත කී පරිදි අන්තර්ජාලය තුලින් දැණටම ලගා වී ඇත. අනික කුඩා කලදී කුඩා දරුවන් හට දර්ශනවාදයන් උගැන්වීමට ගියහොත් ලෝකයම අපට සිනහ සෙනු ඇත. අනික් කාරණය මේ බලහත්කාරය තුල නැවත ඔබ දකින ලිබරල්වාදී අදහසක් නොව පැසිස්ට්වාදයක් ගැබ්ව ඇත.


නමුත් ඔබ කී මේ කාරණයට මම එකග වෙමි. දහම් පාසල් අධ්‍යාපනය තුල විශය නිර්දේශ වෙනස් විය යුතු බව මම ද අදහසක සිටිමි. ගමේ සිටින පැන්ශන් ගිය ආච්චිලා 'යමක් තේරුම් ගත හැකි වයසේ' සිටින දරුවන්ට ජාතක කතා කියා දීම වෙනුවට යම් ප්‍රමිතියක් ඇතුව මේ දේවල් සකස් විය යුතුය. අනික හාමුදුරුවන් වුවද, පෝය දවසට කොටට ඇදන් ඉන්න ගෑනු ලමයින බනිනවාට වඩා, ලව් කරන කෙල්ලන්ට කොල්ලන්ට බනිනවාට වඩා හරවත් යමක් දේශනා කිරීමට උත්සාහ කල යුතුය. මන්ද හරවත් ගැඹුරු ධර්මය පිපාසාවේන් සිටින බෞද්ධයෝ අපමණ මේ රටේ සිටින බැවිනි.


මා මේ මගේ අදහස් පල කරේ ඔබේ ප්‍රශ්නය පැහැදිලිව ඉදිරිපත් කරන්න යයි මා කියූ අවස්තාවේ පැහැදිලිව ඔබ ඉදිරිපත් කෙරූ ප්‍රශ්නයට පමණි.

Wednesday, January 26, 2011

ජාතික ගීය හා තවත් කතා....

                ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට පනතක් සම්මත කර ගැනීමේ රාවයක් මේ දිනවල පවතින නිසා ඒ පිළිබදව යම් අදහසක් පල කිරීම හොදයයි සිතුවෙමි. දශක ගණනකට පසුව අප රටට සාමය උදා වී ඇති මේ මොහොතේ සියලු දෙනා අවබෝධයෙන් බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා අවශ්‍යය. මන්ද දෙමළ වේවා මුස්ලිම් වේවා සිංහල වේවා සියලු දෙනාම ශ්‍රී ලාංකික වැසියන් හෙයිනි.  එහෙත් ඊට පෙර මෙරට දශක ගණනක් තිස්සේ පැවති ජනවාර්ගික අර්බුදයේ ඉතිහාසය පිළිබදව යමක් සදහන් කිරීම මැනැවියයි මට සිතෙන්නේ මේ සියල්ල එකකට එකක් සම්බන්ද සිදුවීම් නිසාය.


        විවිධාකාර මතබේද, සිදුවීම් ගණනාවක් අවසානයේ ඇවිලුන මේ මහා විනාශකාරී යුද්ධයේ ආරම්භයේ මුල් බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය දක්වා දිව යන්නකි. 1915 සිංහල මුස්ලිම් කෝලාහලයේදී අත් අඩංගුවට පත් සිංහල නායකයින්ගේ නිදහස  වෙනුවෙන් හඩ නැගුවේද දමිළ ජාතිකයෙකු වන පොන්නම්බලම් රාමනාදන් මහතා එසේම පෝය දිනය  නිවාඩු දිනයක් කිරීම පිණිස ප්‍රබල හඩක් නැගුවේද දමිළ නායකයෙකු වූ පොන්නම්බලම් රාමනාදන් මහතාය. එතැන් පටන් ඇති කරගත් ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් වූ ලංකා ජාතික සංගමයේ සිංහල මෙන්ම දමිළ ජාතික නායකයින්ද සහයෝගයෙන් නිදහස වෙනුවෙන් සටන් කළහ. සිංහල දමිළ විරසකය මුලින්ම දලුලා වැඩෙන්නට පටන් ගත්තේ  ජාතික පදනමක් මත ලැබෙන ආසන ක්‍රමය
අහෝසි කළ ඩොනමෝර් ප්‍රතිසංස්කරණ වල සිටය. එතැන් පටන් සෝල්බරි ආණ්ඩු ක්‍රමය හරහාත් මෙම විරසකය පැවතුනු අතර කෙසේ හෝ ලංකාවට නිදහස ලැබුනේ මෙම ජාතීන් දෙක අතර පැහැදිලි අවබෝධයකට ඉඩ නොතබමිණි.
        නිදහස ලබන අවස්ථාව වන විට යාපනය ඉතා හොද ( මිෂනාරීන් හරහා ලැබුනු ) පාසල් පද්ධතියකට හිමිකම් කීවේය.එමෙන්ම සිංහල ජනතාවට වඩා වැඩි ප්‍රතිශතයක් දෙමළ ජනතාව ඉංග්‍රීසි කියවීමට හා ලිවීමට හැකියාව අයත් කරගෙන සිටියහ. එකල රාජ්‍ය සේවය සදහා ඉංග්‍රීසි දැනුම අත්‍යාවශ්‍ය සාධකයක් වූ නිසා රාජ්‍ය සේවයේ සිංහලයින්ට වඩා වැඩි ප්‍රතිශතයක් දෙමළ ජනතාව නිරතව සිටියහ. මේ පිළිබදව සිංහලයන් සතුව තිබූ නොසන්සුන්තාවය එලියට පැන්නේ 1956 රාජ්‍ය භාෂා පනත් සිද්ධියෙනි.නිදහස ලැබුනේ මෙම ජාතීන් දෙක අතර පැහැදිලි අවබෝධයකට ඉඩ නොතබමිණි.
            1955 දක්වාම රටේ තිබුණු සියලුම දේශපාලන පක්ශ පිළිගත් පොදු මතය වූයේ ඉංග්‍රීසි භාශාවට තිබූ වැදගත් කම අහිමි කොට සිංහල හා දෙමළ භාශා රාජ්‍ය භාෂා කළ යුතු බවය.එහෙත් රාජ්‍ය සේවය පිළිබදව තිබූ අසහනය හේතුවෙන් 1955 දී සිංහල ජාතිවාදී බලවේග නැගිටීමට පටන් ගත් අතර එය රට පුරා ගින්නක් සේ පැතිර ගියේය. 1956 දී බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම හරහා සුලු ජාතීන්ගේ භාශාවක් ලෙස දමිළ භාෂාව පිළිගැනීමත් සමග රට පුරා සිවිල් පාලනය බිද වැටෙන තත්වයක් මතු විය. මෙම තීරණයට විරුද්ධව එක්සත් භික්ෂු පෙරමුණද ඉදිරියට පැමිණීම නිසා ගිවිසුම අවලංගු කිරීමට බණ්ඩාරනායකට සිදු විය.
මෙරටට ලක්ෂ ගණනක් ජීවිත දේපළ අහිමි කල රට ලෙයින් නැහැවූ ඊළාම් යුද්ධයක පළමු අවාසනාවන්ත වෙඩි මුරය පත්තු වූයේ එදා සිදු වූ එම අමන ක්‍රියාව නිසාය. අන්‍ය ජාතියක් සතු අභිමානය හා ජාතික සමගියෙහි රටක් සංවර්ධනය කිරීමෙහි ලා ඇති වැදගත්කම පිළිබදව මෙම මුග්ධ ජාතිවාදී බලවේග වලට එදා අබමල් රේණුවක්වත් තරම් තෙරුම් ගියේ නම් මෙරට අද පවතින්නේ මෙතැන නොවන බව මටනම් සහතිකය.
              සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාශාව කරන්නෙහි නම් කල යුතුව තිබුනේ අඩුම තරමේ දෙමළ ජනතාවට ඔවුන්ගෙ එදිනෙදා කටයුතු ඔවුන්ගේ භාශාවෙන් කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමය. එහෙත් 1956න් පසු රාජ්‍ය ආයතන සම්බන්ධ කටයුතු සදහා සිංහල දැන සිටීම අනිවාර්‍ය වූ අතර ලියුමක් තැපල් කරගැනීමේ සිට සියලුම මට්ටමේ රාජ්‍ය ආයතන සම්බන්ධ කටයුතු වලදී දෙමළ ජනතාව දැඩි පීඩාවට පත් විය. එපමණක් නොව 1956 සිට 1970 දක්වා පරිපාලන සේවයේ දෙමළ සහභාගීත්වය 30% සිට 5% දක්වාත් ලිපිකරු සේවයේ එය 50% සිට 5% දක්වාත් පහත වැටුනි.
                රටක නිදහස වෙනුවෙන් එක්ව සටන් කල සිය සහෝදර ජාතියෙන් මෙබදු කෙනෙහිලි කම් වන විට දෙමළ ජනතාව කළකිරීමට පත් වීම පුදුමයක් නොවේ. ඕනැම දෙකොට්ටාශයක් සිය පොදු සතුරා සමග සටන් කොට ඔහු එළවා දැමීමෙන් අනතුරුව එම නිදහස් අවකාශය තුළ තමාට ලැබෙන අයිතිය හා ඉඩ පිළිබදව සැකයකින් පසුවීම ස්වාභාවිකය. ඉන්දියානු නිදහස් අරගලය තුලද නිදහස ලැබෙන අවධියේ ඇතිවූ දෙමළ මුස්ලිම් කෝලාහලය මෙයට හොදම නිදසුනකි. කළ යුතු වන්නේ පොදු සතුරාගේ අභාවයෙන් පසු එක් එක් කොට්ටාශය අතර අන්තර් සහයොගීතාවය හා අවබෝධය ඇති වන පරිදි බුද්ධිමත්ව ක්‍රියා කිරීමය. ( බුද්ධිමත්ව ක්‍රියා නොකලහොත් මෙම කාරණය සම්බන්ධව මොරටුව විශ්ව විද්‍යාලය තුලින්ද ඉතා හොද නිදසුනක් සැපයීමට නුදුරේම අපට පුලුවන් වනු ඇත.). එහෙත් මෙම අවබෝධය වෙනුවට මුග්ධ සිංහල ජාතිවාදී බලවේග අනුගමනය කලේ දෙමළ ජාතිය තුල සැකය බිය වර්ධනය වන ප්‍රතිපත්තියකි.
                 මෙම සිද්ධියෙන් පසු දෙමළ ජනතාව රාජ්‍ය සේවය සදහා වූ උනන්දුව අතහැර ඉන්ජිනේරු, වෛද්‍ය
වැනි විශේෂඥ වෘත්තීන් සදහා සිය අවධානය යොමු කළ අතර වැඩි දෙමළ ප්‍රතිශතයක් එම රැකියා වලට ඇතුල් වීමට පටන් ගත්තේය. එහෙත් එම රැකියා සදහා සිංහල අවධානය යොමු වීමත් සමග 1972 ප්‍රමිතිකරණ ක්‍රියාමර්ග තුලින් දෙමළ ප්‍රතිශත්හය විශාල ලෙස පහළ හෙලනු ලැබීය( ඉන්ජිනේරු පීඨ සදහා 48.3% සිට 16.6% දක්වාත් වෛද්‍ය පීඨ සදහා 50% සිට 19% දක්වාත්). දෙමළ තරුණයින් අවි අතට ගැනීමට හේතූන් වුනේ මෙකී ප්‍රධාන සිද්ධීන් හා ඊට පසුව සිදු වූ අනු සිද්ධීන් ගනනාවක් හේතු කොට ගෙනය. යුධමය ක්‍රියා මර්ගය සිය විමුක්තිය උදෙසා වන එකම ක්‍රියා මාර්ගය බවත් ප්‍රභාකරන් සිය එකම ගැලවුම් කාරයා ලෙසත් පිළිගැනීමට ඔවුන්ට පසුබිම සැකසුනේ මෙම පීඩාකාරී තත්වය නිසාය. විමුක්ති අරගලය ත්‍රස්තවාදයක් බවටත්, ත්‍රස්තවාදය ප්‍රභාකරන්ගේ වියරුවක් බවටත් පත් වීමට මූලික අඩිතාලම දැමුවේ අමන සිංහල අන්තවාදීන්ය.
අද අපි දශක ගණනක විනාශකාරී යුද්ධයක් අවසන් කොට සාමය උදා කරගෙන ඇත්තෙමු. එකී සාමය
රැක ගැනීම සදහා අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුත්තෝ වෙමු.
    පළමු ලෝක යුද්ධය අවසානයේ ජර්මනිය අන්ත අසරණ අඩියකට වැටුනු අතර අනෙකුත් රටවල්
පැනවූ සම්බාධක හා ලෝකයාගේ නොසලකා හැරීම හමුවේ ජර්මානු ජනතාව අන්ත දුක්ඛිත දුප්පත්
අඩියකට ඇද වැටුනි. එම නිසා අනෙකුත් යුරෝපීය රටවල් සමග ඔවුනට ඇතුලාන්තයෙන් නැගෙනා
වෛරයක් හා සිය ජාතිය  ගැන කැක්කුමකුත් තිබුනි. 2 වන ලෝක යුද්ධයකට ලෝකය ඇද දැමූ හා විශාල සංහාරයක් කළ හිට්ලර් සිය අරමුණු සදහා උපයෝගී කරගත්තේ ජර්මානු ජනතාවගේ මෙම පීඩාකාරී චින්තන ස්වභාවයයි. ජර්මානු ජාතියේ අභිමානය ගැන සිත් ඇද බැද ගන්නා කතා කියූ හිට්ලර් නැමති පිදුරු ගහේ ඔවුන් එල්ලුනේ මේ නිසාය. එහෙත් දෙවන ලෝක යුද්ධය අවසානයේ ලෝකයා පාඩමක් ඉගෙන ගත් අතර මාර්ෂල් වැනි සැලසුම් මගින් ජර්මනිය ඇතුලු යුද්ධයෙන් පීඩා විදි රටවල් වලට නැගී සිටීමට ආධාර කලේය. එමගින් නැවත යුද්ධයකට ඇති ඉඩද අවුරා දැමුවේය.
           ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීම වැනි ත්‍රස්තවාදී සංකල්ප වලට අපි එක හෙලා විරුද්ධ විය
යුත්තේ මේ නිසාය. දෙමළ ජනතාවට මෙරට තුල ඔවුන්ගේ භාශාවට සංස්කෘතියට ඇති සුරක්ශිත භාවය පිළිබදව හැගීමක් දිව යුතුය. රටක සංවර්ධනයට එකී රටේ ජනතාවගේ රට ගැන ඇති අභිමානය ඉතා වැදගත්ය. අන්‍ය භාශාවකින් ජාතික ගීය ගයන විට එම අභිමානය ඔවුන්ගේ හදවතට සමීප වන්නේ කෙසේද? එවිට එම ගීය ගයන වාරයක් වාරයක් පාසා අදුරු මතකයන් හා කලකිරීමක් ඔවුන්ගේ සිතට නොනැගෙන්නේද? අද ලෝකයේ විවිධ භාශා වලින් ජාතික ගීය ගයන රටවල් ඕනැ තරම් පවති. කැනඩාව තුල භාශා 2කින්ද ස්විට්සර්ලන්තයේ භාශා හතරකින්ද දකුනු අප්‍රිකාව තුල භාශා2කින්ද ගායනා කරයි. ඒ එම රට වල පවතින ජන විවිධත්වයට ගරු කිරීමක් වශයෙනි. වැදගත් වන්නේ ජාතික ගීය ගායනා කරන විට සිය රට ගැන දැසින් කදුලු එන තරමේ සංවේදී අභිමානයක් ඇති කිරීමයි. අනෙකුත් ජාතීන්ටද තමන් මේ රටේ කොටසක් යයි හැගීමක් ලබා දීමයි.
          ජනාධිපති තූමන් ජාත්‍යන්තරයේ සිය කතා වලදී දෙමළ භාශාවෙන් වාක්‍ය කිහිපයක් හෝ කතා
කිරීම අගේ කල යුතු වන්නේත්, උතුර සංවර්ධනය කිරීමේ අනෙකුත් ඕනැම ව්‍යායාමයක් තරම්ම එය වැදගත් වන්නේත් ඒ නිසාය.දශක ගණනක කුරිරු යුද්ධය අවසානයේ දෙමළ මෙන්ම සිංහල ජනතාවද හෙම්බත් වී ඇත. මේ මොහොතේදී එක් එක් ජාතින් අනෙකා අවබෝධ කරගෙන ඔවුනොවුන්ගේ උවමනා කම් කෙරෙහි බුද්ධිමත්ව අවධානය යොමු කෙරුවහොත් නැවත යුද්ධයකට රට ගෙන යාමට කිසිදු ජාතියක් උත්සාහ නොකරනු ඇත. මෙහිදී මුලින්ම සීල් තැබිය යුත්තේ සිංහල ජාතිවාදීන්ගේ මුවවල් වලට බව මගේ හැගීමයි. එය එදත් එසේමය. අදත් එසේමය.
       මෙහිදී අපි ජාතිවාදීන්ගේ 'ජාතික අභිමානය', 'ජාතික අනන්‍යතාව' වැනි ලස්සන වචන වලට නොරැවටිය යුතුය.
     මහාචාර්ය ඩෙස්මන්ඩ් මොරිස්ට අනුව මාන්ව වර්ගයාගේ ක්‍රියා සැරුම් ප්‍රදේශය අංග තුනකින් සමන්විතය. වාර්ගික/ ගෝත්‍රික ක්‍රියා භූමිය ඉන් එකකි. සමාජ පරිණාමයේ මුල් අවධියේ අපි ගෝත්‍ර වශයෙන් ජීවත් වූවෝ වෙමු. එහිදී අපි අපේ දඩ බිම් ගස්වල යොදන ලද ලාංචන වලින් සීම කර ගතිමු. වෙනත් ගෝත්‍රයක් අපේ දඩ බිම ආක්‍රමනය කලොත් එය මහා සංග්‍රාමයකින් කෙලවර වේ. මෙම මානව චර්යා ලක්ෂණ අදත් නොනැසී පවතී. නොදන්වා ගෙදර වත්තට පැන්නෙකු කෙරෙහි දැඩි කෝපයක් අදත් අපිට ඇති වන්නේ මේ නිසාය. එදා දඩ බිම හා ගෝත්‍රය වැනි සංකල්ප අද රට හා ජාතිය වැනි සංකල්ප බවට පරිවර්තනය වී ඇත. එදා හෙල්ල අද තුවක්කුව බවටද ශරීරයේ ආලේප කල තීන්ත, නිලඇදුම් හා පදක්කම් බවටද පරිවර්තනය වී ඇත. ජාතිවාදීන් සිය අරමුණු සදහා උපයෝගී කරගන්නේ අපතුල සැගවුනු මෙම ගෝත්‍රික ලක්ෂණය. රට ජාතිය කියූ සැනින් අපිටත් නොදැනී අපේ ලේ රත් වන්නේ මේ නිසාය.


හැගීම් වලට වහල් නොවී බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් රට සංවර්ධනය කරා ගෙන යාමට කාලය එලඹ
ඇත.


තමා වරදස නොදිස්නේ
මෙරමා දොස්ම දිස්නේ

Thursday, December 30, 2010

politics ගැන යමක්........

Politics ගැන යමක් ලිවිය යුතු යයි මට හැගුනේ හි අරමුනකින් තොරව සැරිසරමින් සිටින අතර තුරේය. සැබවින්ම බොහෝ දෙනා තුල politics ගැන ඇත්තේ රිනාත්මක ආකල්පයකි. එම නිසා පොලිටික්ස් ගැන මට සිතෙන දේ හා මගේ ආකල්පය සටහන් කර තැබීම කළ යුතු දෙයක් යයි සිතුනු නිසා මෙම සටහන ලිවිය යුතු යයි සිතීමි.මගේ මිතුරන් කීප දෙනෙකු තම profile
වල politics ගැන අදහස් දක්වා තිබුනු අයුරු පහත දැක්වේ.

කසුන් ප්‍රනාන්දු  (university of colombo) - Politics in Sri Lanka ... what a blah !!!
උදාරංග වික්‍රමසිංහ (university of moratuwa)- I hate politics...
නිරන්ද පෙරේරා(university of moratuwa)- "country first"
තරිදු අධිකාරි(university of moratuwa)- mmm...better not to say :)
ලක්ෂිත චතුරංග(university of moratuwa)- I hate party politics. But each n evryone shd hv a broad vision on politics.
එරංග සංජය(university of Ruhuna)-buddhism ...& communism and socialism ( hate JVP)
බිමාලි මුදුන්කොටුව(university of moratuwa)-....watever
ඉෂාරා රණවක(university of Ruhuna)-No idea
චන්දික අමරසිංහ(university of colombo)-Moderate
චානක චතුරංග අතපත්තු( ICBT city campus)-i hate that

මෙහිදී බොහෝ දෙනා politics ගැන කිසිදු අදහසක් දක්වා නොතිබූ අතර දක්වා තිබුනු ඒවායින් ගත් අහඹු
නියැදියකි ඉහත දැක්වෙන්නේ. ගැන බොහෝ දෙනා තුල පවතින මෙම පසුගාමී ආකල්පයට ප්‍රධානතමහේතුව ලෙස මා දකින්නේ politics යනු කුමක්ද, ඕනෑම සාමාජයීය සංසිද්ධියක්, ගැටුමක්, ක්‍රියාවලියක් හෝ සමාජ
පරිණාමීය ක්‍රියාවලියක් විශ්ලේෂණය කිරීමෙහි හා විසදුම් සෙවීමෙහි ලා එහි වැදගත්කම ආදිය පිලිබදව
ඇති නොදැනුවත්කම හෝ අල්ප දැනීමය.
Politics යන පදය සිංහලයට පෙරලීමේදී යොදන ලද වචනයේම මෙම දුර්වලතාවය පවතී. 'දේශ පාලනය' යන පදයෙන් එම පදය වහරන්නා හෝ අසන්නා තුල politics වල පැතිරුනු, අතිශය වැදගත්, පුළුල් භාවය ලඝු කොට ඉතා පටු ආකල්පයක් දනවනු ලබයි. දේශපාලනය කිවූ සැනින් සුදු ඇඳගත් දේශපාලකයින් පිරිසක් හා පාර්ලිමේන්තුව අපේ සිහියට එන්නේ එබැවිනි. එම නිසා මේ සටහනේ ඉදිරියටත් 'politics' යන පද භාවිතා කිරීමට මම අදහස් කරමි. :ඩී:ඩී
    සැබැවින්ම politics යනු කුමක්ද?? යන පදය polis යන ග්‍රීක වචනයෙන් බිඳී ආ පදයකි. ප්ලේටෝ ගේ 'The Republican' නැමති කෘතියෙහි ඔහු 'polis' යන පදය හඳුන්වා ඇත්තේ පරිපූර්ණ සමාජීය  තත්වයක් නිරුපණය වන සංකල්පයක් ලෙසිනි.( මගේ අදහසට අනුව ඔහු මේ කියන්නේ කොමියුනිස්ට් වාදී සමාජයක් ගැන විය යුතුය.). එවිට 'politics' යනු එම පරිපූර්ණ සමාජ තත්වය කරා ගමන් කිරීමේදී ඇතිවන සියලු මානව සංසිද්ධි විශ්ලේෂණය කිරීමේ විද්‍යාවයි.
      ලෝක පරිණාමයේ ඉතිහාසයේ සිට අද දක්වාම පාරිසරික, භෞතික, සමාජයීය ගැටීමක් තුලින් නව තත්වයක් නිර්මාණය වීම අඛණ්ඩව සිදු වේ (උදාහරණයක් ලෙස ගෝත්‍රික යුගයෙන්වැඩ වසම් ක්‍රමයට, වැඩවසම් ක්‍රමයෙන් ධනවාදයට, ධනවාදයෙන් නිර්මාණාත්මක ධනවාදයට, ප්‍රදේශයක, ආයතනයක හෝ රටක අභ්‍යන්තරයේ සිදුවන ඕනෑම සංසිද්ධියක් ). මෙම සබඳතාව මතු කර ගැනීම 'politics' වේ. කාල් මාක්ස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි මහා ප්‍රාඥයින් මතු කරඝනීමට උත්සාහ කලේ මෙම සබඳතාවයය.
    Politics යනු කිසියම් දේශපාලන පක්ෂයකට බැඳී ඡන්දය ඉල්ලීම හෝ එම පක්ෂයේ අභිමථාර්ත අනුව කටයුතු කිරීම නොවේ.  අතීතයේ දඩ බිම් සීමා මායිම් ලකුණු කරමින් එම සීමා මායිම් ආක්‍රමනය කරන්නන් හා යුධ වදිමින් පොකුරු ලෙස ජීවත් වූ අර්ධ පරිණාමීය වානරයාගේ සිට වර්තමාන විශ්ව විද්‍යාල සංස්කෘතිය දක්වා වූ සෑම සමාජීය තත්වයක්ම හා සංසිද්ධියක්ම  politics වේ. එය ඉදිරියටද එසේමය. සමහරු කොලඹ හා මොරටුව විශ්ව විද්‍යාල තුල politics නැතැයි පැවසීම විහිළුවට කාරණයක් වන්නේ එබැවිනි. උදාහරණයක් ලෙස කොලඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ sinhala medium සිසුන් තුල පවතින ෆැසිස්ට්වාදී සමාජ තත්වය හා english medium සිසුන් තුල පවතින ධනවාදී ආකල්පමය සමාජ තත්වය politics තුලින් අපූරුවට විග්‍රහ කිරීම හා විශ්ලේශණය කිරීම කල හැකි වේ. මොරටුව විශ්ව විද්‍යාලයේ විවිධ පාඨමාල අතරද ප්‍රදේශය අනුවද department අතරද politics  අපූරුවට ක්‍රියාත්මක වේ. මොරටුව විශ්ව විද්‍යාලයේ පවතින politics පිළිබඳව දවස් ගනනක් වුවද කතා කල හැක.
      Politics  මිදුනු කිසිම දෙයක් මෙලොව නොපවතී. politics ගැන දැනුම හා අවබෝධය යම් තාක් දුරට හෝ සෑම කෙනෙකුට අවශ්‍ය වන්නේ ඒ නිසාය. එවිට අපට අප අවට සිදුවන සමාජ සංසිද්ධීන් පිලිබඳව විශ්ලේශ්ණාත්මක අවබෝධයකින් යුතුව හැසිරීමට හැක. එවිට ඕනෑම සමාජ පන්තියක ( සුපිරි ආයතනයක වේවා, වැඩපලක වේවා, ප්‍රදේශයක වේවා, රටක වේවා) පවතින ගැටලු හා ආකල්ප අවබෝධ කරගෙන නිවැරදිම විසදුම් කරා අපිට යා හැකි වන්නේ එවිටය. කිසිදු කෙනෙකුට  politics වලින් ගැලවීමේ හැකියාවක් නැත. මන්ද මිනිසා යනු ස්වභාවික political සත්ත්වයෙක් නිසාය(ප්ලේටෝ).  
     කෙටියෙන්ම කිවහොත් මානව වර්ගයාගේ හැසිරීම පිලිබඳව යථාර්තය දකින විද්‍යාව දේශපාලන( politics) විද්‍යාවයි. අපිත් මානවයන් නිසා ඒ පිලිබදව අවබෝධයෙන් සිටීම අපට අතිශය වැදගත් බව අවසාන වශයෙන් සටහන් කිරීමට කැමැත්තෙමි. :)

Tuesday, December 21, 2010

බුද්ධිමය වහල්ලු

'ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව හා සංවර්ධනය' යන මැයෙන් වූ මගේ පළමු බ්ලොග් සටහනට පසු එම ක්ෂේත්‍රය ඔස්සේම දිව යන තවත් ලිපියක් ලිවීමට මා සිතාගෙන නොසිටියද ඉහත කී ලිපියට ඌන පූර්ණයක් ලෙස හෝ
පසු වදනක් ලෙස මෙම බ්ලොග් සටහන තැබිය යුතු යයි අදහස් කලේ පලමු ලිපියේ මුඛ්‍ය හරය හා බුද්ධි ගලනය අතර යම් සංහිදියාවක් අත්දැයි ඔබේ හිතේ සැකයක් ඇතිවිය හැකියය් සිතූ නිසාය. :ඩී:ඩී
      විදේශ රැකියා අවස්ථා ශ්‍රී ලංකාවේ ප්‍රධාන සේවා නියුක්ති මූලයක් ලෙසත් ආර්ථිකයේ විශාල බරක් උසුලන අංශයක් ලෙසත් ඉහලින්ම වැජඹේ. විදේශ රැකියා යනු ඕනැම රටක ආර්ථිකයේ ඉතා වැදගත් අංශයකි.


2009දී ශ්‍රී ලාංකික සේව වියුක්තිකයන්ගේ සංඛ්‍යාව 471,000කි. විදේශ සේවා නියුක්තිය 247,119කි. විදේශ රැකියා තුලින් ලැබුනු ආදායම දල වශයෙන් එ.ජා. ඩොලර් මිලියන 1955කි. එය දල වශයෙන් ජාතික
ආදායමෙන් 41%කි. ඉහත කී සංඛ්‍යා ලේඛන දෙස බැලූ විට විදේශ රැකියා මෙරට විදේශ විනිමය ඉපයීම කෙරෙහිත් රට තුල විරැකියා පීඩනය අඩු කිරීම කෙරෙහිත් කොතරම් වැදගත් සේවාවක් ඉටු කරයිද යන්න පෙනීයයි.
         නමුත් ප්‍රශ්නය වන්නේ ඉහත කී රැකියා වලින් විශාල ප්‍රතිශතයක් ගෘහ සේවිකාවන් වීමය. එය 46%ක් තරම් ඉහල අගයක් ගන්නා අතර පුහුණු ශ්‍රමිකයින්ගේ ප්‍රතිශතය ඉන් හරි අඩක් පමණ වන 24.8%කි.
      ශ්‍රී ලංකාවේ පවතින්නේ මාතෘ මූලික සමාජයකි.කාන්තාවන් විදේශ ගත වීම හරහා පවුල් කඩාකප්පල් වීම, කුඩා ලමුන්ගේ මානසිකත්වය ඇද වැටීම, ඔවුන්ට නිසි ආදරය, ආරක්ෂාව,අධ්‍යාපනය නොලැබී යාම,
අසහනකාරී තරුණ පිරිසක් මෙරටට බිහි වීම වැනි සමාජීය ගැටලු ද රාශියකට මුහුණ පැමට සිදුවේ. පුහුණු ශ්‍රමිකයන් මත විදේශ සේවා නියුක්තියේ බර පැටවිය යුත්තේ ඒ නිසා (හා ඔවුන්ගේ ආර්ථික කාර්යක්ශමතාව නිසා ) වෙනි. එසේ කිරීමෙන් ලැබෙන ආර්ථිකමය හා සමාජීයමය  ප්‍රතිලාභ රාශියක් ගඇන මම පසුගිය බ්ලොග් සටහනෙන් විග්‍රහ කළෙමි.


දැන් අපි ප්‍රශ්නයට බසිමු. මෙම යාන්ත්‍රනය හරහා සැබැවින්ම බුද්ධි ගලනයක් සිදු වේද?


     මෙවැනි කාරණා පිලීබද විග්‍රහයන් කිරීමේදී අපි විවිධ සමාජ පන්තිවල හැසිරීම් හා ප්‍රවණතාවයන් සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්ය.
     ඉහත කී වෘත්තීය මධ්‍යස්ථාන තුලින් බිහි වන ශ්‍රමිකයන් අයත් වන්නේ ශ්‍රම කාණ්ඩය අනුව 'වෘත්තීමය (ඉන්ජිනේරු, වෛද්‍ය, මහාචාර්ය, කථිකාචාර්ය )' කාණ්ඩයට නොව 'පුහුණු ශ්‍රමික' කාණ්ඩයටය. ඔවුන් සිය පවුල්ද සමග ස්ථිර ලෙස වෙනත් රටක පදින්චියට ගොස් එහි රැකියාවක නිරත වීමේ ප්‍රවණතාවයක් මෙරට තබා වෙනත් කිසිදු රටක නැත. විදේශ සංක්‍රමන රෙගුලාසි අනුව එසේ කිරීමටද පහසු අවකාශයක් නැත. සබැවින්ම සිදු වන්නේ ඔවුන් විදේශයක සිට උපයන මුදල් මෙරටට විදේශ විනිමය වශයෙන් ගලාගෙන ඒමය. ඉහතින් දැක්වූ සංඛ්‍යා ලේඛන එසේ මෙරටට ලැබුනු ආදායමය.
     ඔවුන්ගේ කාර්මික දැනුම මෙරටට ලැබීමට වඩා සබැවින්ම වැදගත් වන්නේ ඔවුන්ගෙන් මෙරටට ලැබෙන විදේශ විනිමයය. මන්ද පුහුණු ශ්‍රමිකයන්ගේ ඌණතාවයක් මෙරට තුල විශාල ගැටලුවක් වශයෙන් පැන නොනැගී ඇති බැවිනි. විදේශ මුදල් මෙරටට ගලා ඒම හරහා විදේශ සංචිත ප්‍රමානය වැඩි වීම, උද්ධමනය අඩු වී රුපියලෙහි අගය වැඩි වීම වැනි ප්‍රථිලාභ රාශියක් ලබා ගනීමට අපට අවකාශ ලබේ.එබැවින් ඒ හරහා බුද්ධි ගලනයක් සිදු වේ යයි කිසිදු ආකාරයකට බිය විය යුතු නැත.
  
    දැන් අපි වෘත්තීමය ශ්‍රමිකයින් ගැන සලකා බලමු.වෘත්තීමය ශ්‍රමිකයෙක් බිහි කිරීමට රජය විසින් අති විශාල වියදමක් දරයි.( එක උපාධිධාරියෙකුට ලක්ෂ 25ක් පමණ ). මේ සා මුදල් කන්දරාවක් වියදම් කරන රජයට ඒ
සදහා රටට ප්‍රතිලාභයක් ලබා ගත නොහැකිනම් රට අගාධයට යාම නොවැලක්විය හැකිය.රටක සංවර්ධනයට උපාධිදරයෙකුට ඔහුගේ විශේෂඥ දැනුම හරහා කල හැකි කාර්ය භාරය අති විශාලය. චීනය හා ඉන්දියාව අද
පවතින තත්වයට පැමිනීමේදී ඔවුන්ගේ ග්‍රාමීය සංවර්ධනයට යොමු කල අවධානය අති විශාලය. ඉන්දියාවේ අනර්ඝ ප්‍රජා සෞඛ්‍ය ව්‍යපෘතියක් වන ජමිකෙඩ් සංවිධානය ආරම්භ කල වෛද්‍ය රාජ් අරොල්, 'Hall in
the wall ' ව්‍යාපෘතිය හරහා දුප්පත් දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩි දියුනු කල මහාචාර්ය සුගත මිත්‍රා, චීනයේ ග්‍රාමීය කෘෂි කර්මාන්තය නගා සිටුවීමට සුවිසල් මෙහෙයක් ඉටු කල එරට ඉන්ජිනේරුවන් වැනි
සම්පත් පුද්ගලයින් තුලින් එම රටවල් ලබා ගත් ප්‍රතිලාභය සුවිශාලය. රටක සංවර්ධනයේදී වෘත්තීමය ශ්‍රමිකයෙකුගෙන් ලැබෙන විදේශ විනිමයට වඩා ඔහුගේ දැනුම රටකට අත්‍යාවශ්‍ය වන්නේ ඒ නිසාය. එකී රටේ සංවර්ධනයට ඔහුට කල හැකි සුවිසල් කාර්ය භාරය නිසාය. ඔහු විදේශ රටක පූර්ණ කාලීනව  රැකියාවට ගියහොත් එය අපරාදයක් වන්නේ ඒ නිසාය.( වෘත්තීමය ශ්‍රමිකයෙකුට පූර්ණකාලීන රැකියාවක් හා පුරවැසි භාවය ලබා දීමට ලොකයේ බොහෝ රටවල් සදී පැහැදී සිටී.)


සැබැවින්ම වරද කාගෙද?? උපාධිධරයින්ගේද??එය එසේ යයි පැවසීමට මම ඉක්මන් නොවෙමි.
    
  වෘත්තිකයන් පිටරට ඇදී යාමට එක් හේතුවක් වන්නේ ඔවුන්ගේ දැනුම භාවිතා කිරීමට අවශ්‍ය තාක්ෂණය මෙරට නොමැති වීමය. උදාහරණයක් ලෙස ලෝකයේ අධි වේගයෙන් ඉදිරියට යන ඉලෙක්ට්‍රොනික තාක්ශනය සමග සසදන කල ලංකාව ගව් ගනනක් පිටුපසින් සිටින බවත්, උසස් තාක්ෂණය පරිශීලනය කිරීමටනම් අනිවාර්යයෙන් විදේශ ගත විය යුතු තත්වයක් උදා වී ඇති බවත් ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරු සිසුවෙකු වශයෙන් මම දනිමි.
                  මනුෂ්‍යයා යනු පරිභෝජනවාදී සත්වයෙකි.අප උපන් රටට, අප වෙනුවෙන් දුක් විදි ජනතාව වෙනුවෙන් සේවය කිරීම අප සතු සුවිසල්ම පැහැර හැරිය නොහැකි වගකීම වුවද මානුෂීය පරිභෝජන ස්වභාවය අනුව එසේ පරිපූර්ණ ස්වභාවයක් අපට බලාපොරොත්තු විය නොහැකිය. ඕනැම කෙනෙකු වැඩි ආදායමක් වැඩි පහසුකම් ඇති තැනකට ඇදී යාමේ නැඹුරුවක් පවතී.ඒ මනුෂ්‍යයාගේ හැටිය. ස්වභාවයය. ශ්‍රී ලංකාවෙ පමණක් නොව ඕනැම රටක මිනිසාගේ ස්වභාවය එයය. එමනිසා එවැනි පරිපූර්ණ තත්වයක් ගැන බලා නොසිට එම පාඩුව අවම කරගැනීමේ ප්‍රායොගික පියවරකට යාම අත්‍යාවශ්‍යය.
 නිදහස් අධ්‍යාපනය මෙරටට විශාල බවක්ව ඇති බව අප සියලු දෙනා විසින්ම පිලිගත යුතුය. උපාධිධරයෙකු සදහා වියදම් කරන්නේ මහජන මුදල් වන අතර බෝක්කුව උඩ සිටින සිගන්නාද, කන්න නැතිව වහ බොන
අනුරාධපුරයේ ගොවියාද ඒ සදහා දායකත්වයක් දක්වයි.
        නමුත් එසේ කියා අපිට නිදහස් අධ්‍යාපනය අහෝසි කල නොහැකිය. මන්ද එය පහල ආදායම් සහිත පවුල් වල දරුවනට අධ්‍යාපනයද ඔවුන්ට ඉහල සමාජ ස්ථරයකට පැමිනීමේ ඉඩකඩද අවුරන්නක් බැවිනි. එවන්නක් සිදු වුවහොත් සමාජය තුල පන්ති බේදය උග්‍ර වී අප සමාජ පරිණාමයේ ආපස්සට යා හැකිය.
    හොදම දෙය වන්නේ උපාධිධරයෙකු රැකියාවක් ලබා ගත් පසු ඔහුගෙන් හෝ ඇයගෙන් ඔහු වෙනුවෙන් වැය කල මුදලෙන් යම් ප්‍රතිශතයක් හෝ අය කරගැනීමට සැලසුම් කිරීමය. මෙය ඔහු ලබන ආදායමට සාපේක්ශව සූත්‍රයකට අනුව කල හැකිය. පසුව ඔහු ඉහල වැටුපක් සහිත රැකියාවකට මාරු වුවහොත් අය කරන ගනන සූත්‍රයට අනුව වෙනස් කල හැකිය. විශ්ව විද්‍යාලයෙන්  උපාධිය ලබා ගන්නා අවස්ථාවේ සිසුවා ඉහත කී ගිවිසුමට යටත් කල යුතුය. කිසිම කෙනෙකු පිනට දේවල් ලබා ගත යුතු යය් මම විශ්වාස නොකරමි. පසුව උවමනානම් ඔහු සිදු කරන පර්යේෂණ හෝ නව සොයා ගැනීමසදහා ඉහත කී ගාස්තුව කප්පාදුවකට ලක් කල හැකිය.ඉහත කී මුදල මෙරට ග්‍රාමීය සංවර්ධනයටත්, මෙරටට නව තාක්ෂණය ගෙන ඒමටත්,
තවත් නොයෙකුත් සංවර්ධන සැලසුම් සදහාද යෙදවිය හැක.
   පරිපූර්ණ තත්ව ගැන බලා නොසිට මෙසේ සැලසුම් කාරී පියවර වලට යාමෙන් නිදහස් අධ්‍යාපනයෙaන් රටට තිබෙන බරද අවම කල හැකි අතර රටේ සංවර්ධනයටද ශ්‍රීඝ්‍ර දියුනුවක් අත් පත් කර ගත හැකි බවත්
 උපාධිධරයින්ට පරිශීලනය කිරීමට අවශ්‍ය නව තාක්ශනය මෙරටට ගෙන ඒම තුලින් බුද්ධි ගලනය අවම කර ගත හැකි බවත් මම විශ්වාස කරමි.
       රටක සංවර්ධනයේදී ප්‍රථම පියවර ග්‍රාමීය සංවර්ධනය බව මම තරයේ විශ්වාස කරමි.( ශ්‍රී ලංකාවෙ 72%ක් තවමත් ග්‍රාමීයය ). අප අතරින් කෙනෙකුට ලංකාවෙ වී අස්වැන්න කීප ගුණයකින් වැඩි කරන බීජයක්, නව
කාර්යක්ශම නූල් කැටීමේ යන්ත්‍රයක්, අස්වැන්න ඉක්මනින් අඩු නාස්තියකින් තොරව නෙලාගත හැකි යන්ත්‍රයක් නිශ්පාදනය වැනි එක් දෙයකින් මෙරට ආර්ථිකයට කල හැකි වෙනස අති විශාලය. එම නිසා ඉහත කී සියලු සැලසුම් තිබියදී අප වෙනුවෙන් දුක් විදි ජනතාව වෙනුවෙන් අපට කල හැකි කාර්ය භාරය අති විශාල බවත් එසේ කිරීම හරහා රටේ සංවර්ධනයට කාර්යක්ශම ලෙස දායක වීමට අපට හැකි බවත්, වෙනත් බහුජාතික සමාගමක හෝ රටක බුද්ධිමය වහල්ලු නොවී එසේ කිරීම අපගේ පරම හා ප්‍රථම යුතුකම බවත් සිහිපත් කරමින් සටහන මෙතෙකින් නිමා කරමි.:ඩී:ඩී

Monday, December 20, 2010

වෘත්තීය පුහුණුව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය

2010 උසස් පෙළ ප්‍රතිපල නිකුත් වීමත් සමගම මේ දින වල තරුණ සිසුන්ගේ  ජීවිත වල අනාගතය හා


ශ්‍රී ලංකාව තුල උසස් අධ්‍යාපනය හරහා එයට ලබෙන දායකත්වය පිලිබඳව බොහෝ අයගේ


අවධානයටත් කතිකාවතටත් ලක්ව ඇත. එම නිසා ඒ ගන යමක් මගේ දෘශ්ඨි කෝණයෙන් ලියා තැබිය


යුතු යයි සිතුවෙමි.


ශ්‍රී ලංකාව තුල වර්තමානය උසස් පෙල කඩඉම තරණය කිරීමට නොහැකි වන සිසුන්ගේ අනාගතය


පිලිබදව පැහැදිලි අර්බුදයක් ඇත. එහෙත් රට තුල කිසිදු අර්ථිකමය හෝ සමාජමය ගැටලුවකට පිලිගත


හැකි ප්‍රායෝගික විසදුමක් ඉදිරිපත් නොකරමින්, නමුත් ප්‍රශ්න අති බව ජනතාවට පෙන්වා දෙමින් කෑ කෝ


ගසමින් විශාල සමාජමය මෙහෙවරක් ඉටු කරන රතු සහොදරවරුන් මෙන් නොව මෙම අර්බුදයට බලපා


ඇති හේතු සාධක සහ එම අභියෝගයන් ජයගත හැකි ආකාරය පිලිබදව මට සාපෙක්ෂව විග්‍රහයක්


ඉදිරිපත් කිරීම මෙම සටහනේ අරමුණයි. :පී.


වර්තමානයේ ශ්‍රී ලංකාවට විශාලම විදේශ අදායමක් ලබෙන්නේ මැද පෙරදිග ගෘහ සේවිකාවන් හරහාය.


ඇත්ත වශටෙන්ම ශ්‍රී ලංකාවේ අර්ථිකය දෙස සමස්ථ චිත්‍රය බැලූ කල තත්වය ලැජ්ජා හිතෙන තරම්ය. ශ්‍රී


ලංකාවේ ජාතික අදායමට වැඩිම දායකත්වයක් සපයන අංශයන් 3(ක්) පහත දැක්වේ.


1. මැද පෙරදිග ගෘහ සේවය
2. ඇගලුම් නිශ්පාදන
3. තේ


      මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද? සංවර්ධනය වෙමින් පවතින රටක් වන, එමෙන්ම ලෝක


අර්ථිකයේ මෙන්ම නවීන තොරතුරු තාක්ෂනයේ නැගී එන බලවතෙකු වන ඉන්දියාවට අසල්වසි වූ අතීත


ස්වර්ණමය අභිමානයකට උරුමකම් කිවූ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් සපයන්නේ පහළ


(මධ්‍යම ) පාන්තික අසරණ කාන්තාවන් බවය.
   ශ්‍රී ලංකාවේ 2009 සා.පෙළ විභාගයට පෙනී සිටි මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 272000 වූ අතර උසස් පෙළ


සදහා සුඩුසුකම් ලබා ඇත්තේ 142,938 පමණි. අසමත් වූවන්ගේ සංඛ්‍යාව 129,062 කි. උසස්


පෙළ තත්වය මීටත් වඩා බරපතළය. රටක ජීව නාළිය වන්නේ එරට තරුණ ශ්‍රම බලකායය. එමනිසා


රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට නොහැකිවන අති විශාල තරුණ ජනකායට ජාතික මට්ටමේ


විකල්ප විසදුම් ක්‍රමවේදයක් ලබා දීමට රජය අපොහොසත් වේ නම් අප රට සෑම දාම සංවර්ධනය වෙමින්


පවතින රටක් බවට පත් වී තිබීම නොවලැක්විය හැකි දෙයක් වනු ඇත.                


   මෙයට අති හොදම විකල්ප විසදුම වන්නේ අන්තර්ජාතික මට්ටමට සරිලන ගුණාත්මක භාවයෙන්


පිරිපුන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන රට පුරා ව්‍යාප්ත කිරීමයි. දැනටද ලංකාවෙ වෘත්තීය පුහුනු මධ්‍යස්ථාන


රාශියක් ක්‍රියාත්මක වන බව සත්‍යයකි.එහෙත් ඒ එකකවත් අවශ්‍ය ගුණාත්මක භාවය සපුරා තිබේද යන්න


ගැටලුවකි.
        අද ලෝකය සමස්ත ලෙස ගෝලීය කරණය වෙමින් පවතින යුගයක තනි රටක ආර්ථිකය හෝ


සමාජය ගෝලීය ආර්ථිකයෙන් හෝ අනෙකුත් රටවල සමාජ ක්‍රම වලින් වියුක්තව සිතීමට යාම විහිලුවකි.


කාල් මාක්ස් ට අනුව ගෝලීය කරණය තුල සෑම දෙයකටම මිලක් නියම වේ. වර්තමානයේ සිදුව ඇත්තේ


එයයි. භෞතික දේවල් පමණක් නොව ලිංගිකත්වය මානසික සැහැල්ලුව වැනි මානුෂික හැගීම් පවා


අන්තර්ජාතිකව ලබා ගැනීම හා ඒවාට ගෝලීය වශයෙන් මිලක් නියම වීම අද සිදුව ඇත. අද ඕනෑම රටක


වෙලද පොල බඩු වල මිළ ගනන් තීරණය වන්නේ ස්වයාවත්තව නොව ගෝලීය වෙලද පොලට


සාපේක්ෂවය. සමස්තයක් ලෙස ගත් කළ මුලු ලෝකයම එකම අති විශාල වෙලද පොලක් බවට පත්ව


ඇත.
      මේ ගෝලීය වෙළද පොල තුල මිනිස් ශ්‍රමයට, එයිනුත් පුහුණු ශ්‍රමිකයන්ට හිමිව ඇත්තේ අති විශාල


වටිනාකමකි. මිලකි. අද අපි ජීවත් වෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහි වූ 'ධනවාදයේ 3 වන


කාර්තුව' තුළය. සීම මායිම් බිදගෙන බහුජාතික ප්‍රාග්ධනය ලෝකය පුරාම ගලා යාම වර්ධනය වන්නේ ඒ


ඔස්සේය.එහිදී දැනුම මිලක් බවට පත්ව ඇත.
     අපි අපේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තුලින් ඉලක්ක කළ යුත්තේ මෙන්න මේ ගෝලීය වෙලද


පොලයි. අද යුරෝපීය රටවල මේසන් වරු, විදුලි කාර්මිකයන්, පයිප්පකරුවන්, වෙල්ඩින් කරුවන්ට


ඇත්තේ අති විශාල ඉල්ලුමකි. එම නිසා එම රටවල ඉල්ලුමට සරිලන ගුණාත්මක භාවයෙන් පිරිපුන්


පුහුණු වෘත්තිකයන් බිහි කිරීමට රජය සමත් විය යුතුය. නැතහොත් ඉන්දියාව ඇතුලු අනෙකුත් ආසියතික


රටවලින් සපයන ගුණාත්මක භාවයෙන් වැඩි කාර්මිකයන් හමුවේ අපගේ කාර්මිකයන් විසි වී යනු


ඇත්තේ ගමේ පොලේ හොද කෙසෙල් හමුවේ තැලුනු කෙසෙල් විසි වී යන ආකරයටමය.

    අප රටේ දැනට බිහි වන පුහුණු කාර්මිකයන් (මා දන්නා පරිදි ජර්මන් ටෙක් ආයතනයේ හැර ) දැනට


ඉහත කී ගෝලීය වෙලද පොලට සරිලන ගුණාත්මක භාවයෙන් බිහි වන්නේ නැත. ඔවුන්ට තම කාර්මික


දැනුම සහතික කරන අන්තර්ජාතික මට්ටමේ පිළිගත් සහතිකයක් සහ නිවැරදි ඉංග්‍රීසි පුහුණුවක්ද ඒ සදහා


පිළිගත් සහතිකයක්ද නිකුත් කිරීම අත්‍යාවශ්‍යය. මන්ද යල් පන ගිය තාක්ෂනය හා මහජන කළකිරීම

රටක ඉදිරි ගමන අවුරාලන ප්‍රපාත බැවිනි
    ධීවර කාර්මිකයන්ට පිළිගත් විශ්‍රාම වැටුපක් හා උසස් ධීවර තාක්ශනික දැනුමක් ලබා දීමට යන බව මම


පසු ගිය සති අන්ත පුවත් පතක දැක්කෙමි. මෙය ඉතාම හොද ඉදිරි පියවරකි. එවිට ඔවුන්ට ශ්‍රී ලංකික


සමාජය තුල පවා තම වෘත්තිය පිළිබදව අභිමානයකින් යුතුව රටෙ සංවර්ධනයට දායක වීමට හකි වනු


ඇති අතර ඔවුන් කෙරෙහි පවතින ධනාත්මක සමජමය ආකල්ප හාවටිනාකම්ද කෙමෙන් කෙමෙන් වැඩි වනු ඇත.. මෙය රටක ඉදිරි ගමනට අත්‍යාවශ්‍ය සාධකයකි. .
  
    ලාංකික සමාජය වැඩ වසම් ක්‍රමයෙන් ගෙන ආ කුල බේදය හා විවිධ වෘත්තීන් පහත් කොට සැලකීමේ


ස්වභාවය ධනේශ්වර ක්‍රමයකට පරිවර්තනය වෙමින් පවතින සමාජයක් තුල පවා තවම මුල් බැස පවතී.( ශ්‍රී


ලංකාවේ සමාජමය පරිණාමය හා කුල බේදය පිළිබදව වෙනත් ලිපියකදී සවිස්තරාත්මකව ඉදිරිපත්


කිරීමට බලාපොරොත්තු වෙමි. ලංකාවේ රොඩී ගම්මාන 48ක් තවමත් පවතින බව ඔබ දන්නවාද???).


කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ තුලින් රාජකාරි ක්‍රමය අහෝසි කරන ලද්දේ එතෙක් වැඩ වසම්


රාමුවට අනුව ඒ ඒ සමාජ කොටස් වෙත පැවරී තිබූ ඒකාකාර ජීවන වෘත්තීන් වෙනස් කොට ශ්‍රමය නිදහස්


කිරීම උදෙසාය. විශේශයෙන්ම දියුණු වන සංවර්ධිත ආර්ථික ක්‍රමයක අත්යාවශ්‍ය ගුණංගයක් වන්නේ ශ්‍රම


විභජනය හා විශේශ ප්‍රාගුණ්‍යයයි. යුරෝපීය රටවල් තුල මෙම තත්වය බෙහෙවින් වර්ධනය වී ඇත. ලංකාවේ


පයිප්ප වැඩ කිරීමට අකමැති අයෙක් මොන දුකක් විද හෝ අමෙරිකාවට ගොස් ෂෙඩ් එකක තෙල් ගැසීමට


එකග වන්නේ මෙම හේතුව නිසාය. අප රටේ මෙම සමාජ පසු බෑමද ඉහත කී විධිමත් වෘත්තීමය ගෞරවය


ලබා දීම තුලින් තුරන් කළ හැක.
       ඇත්ත වශයෙන්ම මැද පෙරදිගට යන ගෘහ සේවිකාවන් විස්සක් උපයන ආදයම යුරෝපීය රටකට


යන එක් පුහුණු කාර්මිකයෙකුට ඉපයිය හැකි බව පුවත් පතක සදහන්ව තිබූ සංඛ්‍යා ලේඛන තුලින් මම


දැක්කෙමි. අප අපේ රටේ ආර්ථිකයේ බර අසරණ නූගත් ගැහනුන් පිට නොපටවා ලොවම පිලිගත් පුහුණු


ශ්‍රමිකයන් සපයන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව අනාගතයේ පත් කලහොත් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක්


කිරීමේ සිහිනය වැඩි ඇතක නොවිය හැකිය.