Wednesday, January 26, 2011

ජාතික ගීය හා තවත් කතා....

                ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට පනතක් සම්මත කර ගැනීමේ රාවයක් මේ දිනවල පවතින නිසා ඒ පිළිබදව යම් අදහසක් පල කිරීම හොදයයි සිතුවෙමි. දශක ගණනකට පසුව අප රටට සාමය උදා වී ඇති මේ මොහොතේ සියලු දෙනා අවබෝධයෙන් බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා අවශ්‍යය. මන්ද දෙමළ වේවා මුස්ලිම් වේවා සිංහල වේවා සියලු දෙනාම ශ්‍රී ලාංකික වැසියන් හෙයිනි.  එහෙත් ඊට පෙර මෙරට දශක ගණනක් තිස්සේ පැවති ජනවාර්ගික අර්බුදයේ ඉතිහාසය පිළිබදව යමක් සදහන් කිරීම මැනැවියයි මට සිතෙන්නේ මේ සියල්ල එකකට එකක් සම්බන්ද සිදුවීම් නිසාය.


        විවිධාකාර මතබේද, සිදුවීම් ගණනාවක් අවසානයේ ඇවිලුන මේ මහා විනාශකාරී යුද්ධයේ ආරම්භයේ මුල් බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය දක්වා දිව යන්නකි. 1915 සිංහල මුස්ලිම් කෝලාහලයේදී අත් අඩංගුවට පත් සිංහල නායකයින්ගේ නිදහස  වෙනුවෙන් හඩ නැගුවේද දමිළ ජාතිකයෙකු වන පොන්නම්බලම් රාමනාදන් මහතා එසේම පෝය දිනය  නිවාඩු දිනයක් කිරීම පිණිස ප්‍රබල හඩක් නැගුවේද දමිළ නායකයෙකු වූ පොන්නම්බලම් රාමනාදන් මහතාය. එතැන් පටන් ඇති කරගත් ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් වූ ලංකා ජාතික සංගමයේ සිංහල මෙන්ම දමිළ ජාතික නායකයින්ද සහයෝගයෙන් නිදහස වෙනුවෙන් සටන් කළහ. සිංහල දමිළ විරසකය මුලින්ම දලුලා වැඩෙන්නට පටන් ගත්තේ  ජාතික පදනමක් මත ලැබෙන ආසන ක්‍රමය
අහෝසි කළ ඩොනමෝර් ප්‍රතිසංස්කරණ වල සිටය. එතැන් පටන් සෝල්බරි ආණ්ඩු ක්‍රමය හරහාත් මෙම විරසකය පැවතුනු අතර කෙසේ හෝ ලංකාවට නිදහස ලැබුනේ මෙම ජාතීන් දෙක අතර පැහැදිලි අවබෝධයකට ඉඩ නොතබමිණි.
        නිදහස ලබන අවස්ථාව වන විට යාපනය ඉතා හොද ( මිෂනාරීන් හරහා ලැබුනු ) පාසල් පද්ධතියකට හිමිකම් කීවේය.එමෙන්ම සිංහල ජනතාවට වඩා වැඩි ප්‍රතිශතයක් දෙමළ ජනතාව ඉංග්‍රීසි කියවීමට හා ලිවීමට හැකියාව අයත් කරගෙන සිටියහ. එකල රාජ්‍ය සේවය සදහා ඉංග්‍රීසි දැනුම අත්‍යාවශ්‍ය සාධකයක් වූ නිසා රාජ්‍ය සේවයේ සිංහලයින්ට වඩා වැඩි ප්‍රතිශතයක් දෙමළ ජනතාව නිරතව සිටියහ. මේ පිළිබදව සිංහලයන් සතුව තිබූ නොසන්සුන්තාවය එලියට පැන්නේ 1956 රාජ්‍ය භාෂා පනත් සිද්ධියෙනි.නිදහස ලැබුනේ මෙම ජාතීන් දෙක අතර පැහැදිලි අවබෝධයකට ඉඩ නොතබමිණි.
            1955 දක්වාම රටේ තිබුණු සියලුම දේශපාලන පක්ශ පිළිගත් පොදු මතය වූයේ ඉංග්‍රීසි භාශාවට තිබූ වැදගත් කම අහිමි කොට සිංහල හා දෙමළ භාශා රාජ්‍ය භාෂා කළ යුතු බවය.එහෙත් රාජ්‍ය සේවය පිළිබදව තිබූ අසහනය හේතුවෙන් 1955 දී සිංහල ජාතිවාදී බලවේග නැගිටීමට පටන් ගත් අතර එය රට පුරා ගින්නක් සේ පැතිර ගියේය. 1956 දී බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම හරහා සුලු ජාතීන්ගේ භාශාවක් ලෙස දමිළ භාෂාව පිළිගැනීමත් සමග රට පුරා සිවිල් පාලනය බිද වැටෙන තත්වයක් මතු විය. මෙම තීරණයට විරුද්ධව එක්සත් භික්ෂු පෙරමුණද ඉදිරියට පැමිණීම නිසා ගිවිසුම අවලංගු කිරීමට බණ්ඩාරනායකට සිදු විය.
මෙරටට ලක්ෂ ගණනක් ජීවිත දේපළ අහිමි කල රට ලෙයින් නැහැවූ ඊළාම් යුද්ධයක පළමු අවාසනාවන්ත වෙඩි මුරය පත්තු වූයේ එදා සිදු වූ එම අමන ක්‍රියාව නිසාය. අන්‍ය ජාතියක් සතු අභිමානය හා ජාතික සමගියෙහි රටක් සංවර්ධනය කිරීමෙහි ලා ඇති වැදගත්කම පිළිබදව මෙම මුග්ධ ජාතිවාදී බලවේග වලට එදා අබමල් රේණුවක්වත් තරම් තෙරුම් ගියේ නම් මෙරට අද පවතින්නේ මෙතැන නොවන බව මටනම් සහතිකය.
              සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාශාව කරන්නෙහි නම් කල යුතුව තිබුනේ අඩුම තරමේ දෙමළ ජනතාවට ඔවුන්ගෙ එදිනෙදා කටයුතු ඔවුන්ගේ භාශාවෙන් කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමය. එහෙත් 1956න් පසු රාජ්‍ය ආයතන සම්බන්ධ කටයුතු සදහා සිංහල දැන සිටීම අනිවාර්‍ය වූ අතර ලියුමක් තැපල් කරගැනීමේ සිට සියලුම මට්ටමේ රාජ්‍ය ආයතන සම්බන්ධ කටයුතු වලදී දෙමළ ජනතාව දැඩි පීඩාවට පත් විය. එපමණක් නොව 1956 සිට 1970 දක්වා පරිපාලන සේවයේ දෙමළ සහභාගීත්වය 30% සිට 5% දක්වාත් ලිපිකරු සේවයේ එය 50% සිට 5% දක්වාත් පහත වැටුනි.
                රටක නිදහස වෙනුවෙන් එක්ව සටන් කල සිය සහෝදර ජාතියෙන් මෙබදු කෙනෙහිලි කම් වන විට දෙමළ ජනතාව කළකිරීමට පත් වීම පුදුමයක් නොවේ. ඕනැම දෙකොට්ටාශයක් සිය පොදු සතුරා සමග සටන් කොට ඔහු එළවා දැමීමෙන් අනතුරුව එම නිදහස් අවකාශය තුළ තමාට ලැබෙන අයිතිය හා ඉඩ පිළිබදව සැකයකින් පසුවීම ස්වාභාවිකය. ඉන්දියානු නිදහස් අරගලය තුලද නිදහස ලැබෙන අවධියේ ඇතිවූ දෙමළ මුස්ලිම් කෝලාහලය මෙයට හොදම නිදසුනකි. කළ යුතු වන්නේ පොදු සතුරාගේ අභාවයෙන් පසු එක් එක් කොට්ටාශය අතර අන්තර් සහයොගීතාවය හා අවබෝධය ඇති වන පරිදි බුද්ධිමත්ව ක්‍රියා කිරීමය. ( බුද්ධිමත්ව ක්‍රියා නොකලහොත් මෙම කාරණය සම්බන්ධව මොරටුව විශ්ව විද්‍යාලය තුලින්ද ඉතා හොද නිදසුනක් සැපයීමට නුදුරේම අපට පුලුවන් වනු ඇත.). එහෙත් මෙම අවබෝධය වෙනුවට මුග්ධ සිංහල ජාතිවාදී බලවේග අනුගමනය කලේ දෙමළ ජාතිය තුල සැකය බිය වර්ධනය වන ප්‍රතිපත්තියකි.
                 මෙම සිද්ධියෙන් පසු දෙමළ ජනතාව රාජ්‍ය සේවය සදහා වූ උනන්දුව අතහැර ඉන්ජිනේරු, වෛද්‍ය
වැනි විශේෂඥ වෘත්තීන් සදහා සිය අවධානය යොමු කළ අතර වැඩි දෙමළ ප්‍රතිශතයක් එම රැකියා වලට ඇතුල් වීමට පටන් ගත්තේය. එහෙත් එම රැකියා සදහා සිංහල අවධානය යොමු වීමත් සමග 1972 ප්‍රමිතිකරණ ක්‍රියාමර්ග තුලින් දෙමළ ප්‍රතිශත්හය විශාල ලෙස පහළ හෙලනු ලැබීය( ඉන්ජිනේරු පීඨ සදහා 48.3% සිට 16.6% දක්වාත් වෛද්‍ය පීඨ සදහා 50% සිට 19% දක්වාත්). දෙමළ තරුණයින් අවි අතට ගැනීමට හේතූන් වුනේ මෙකී ප්‍රධාන සිද්ධීන් හා ඊට පසුව සිදු වූ අනු සිද්ධීන් ගනනාවක් හේතු කොට ගෙනය. යුධමය ක්‍රියා මර්ගය සිය විමුක්තිය උදෙසා වන එකම ක්‍රියා මාර්ගය බවත් ප්‍රභාකරන් සිය එකම ගැලවුම් කාරයා ලෙසත් පිළිගැනීමට ඔවුන්ට පසුබිම සැකසුනේ මෙම පීඩාකාරී තත්වය නිසාය. විමුක්ති අරගලය ත්‍රස්තවාදයක් බවටත්, ත්‍රස්තවාදය ප්‍රභාකරන්ගේ වියරුවක් බවටත් පත් වීමට මූලික අඩිතාලම දැමුවේ අමන සිංහල අන්තවාදීන්ය.
අද අපි දශක ගණනක විනාශකාරී යුද්ධයක් අවසන් කොට සාමය උදා කරගෙන ඇත්තෙමු. එකී සාමය
රැක ගැනීම සදහා අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුත්තෝ වෙමු.
    පළමු ලෝක යුද්ධය අවසානයේ ජර්මනිය අන්ත අසරණ අඩියකට වැටුනු අතර අනෙකුත් රටවල්
පැනවූ සම්බාධක හා ලෝකයාගේ නොසලකා හැරීම හමුවේ ජර්මානු ජනතාව අන්ත දුක්ඛිත දුප්පත්
අඩියකට ඇද වැටුනි. එම නිසා අනෙකුත් යුරෝපීය රටවල් සමග ඔවුනට ඇතුලාන්තයෙන් නැගෙනා
වෛරයක් හා සිය ජාතිය  ගැන කැක්කුමකුත් තිබුනි. 2 වන ලෝක යුද්ධයකට ලෝකය ඇද දැමූ හා විශාල සංහාරයක් කළ හිට්ලර් සිය අරමුණු සදහා උපයෝගී කරගත්තේ ජර්මානු ජනතාවගේ මෙම පීඩාකාරී චින්තන ස්වභාවයයි. ජර්මානු ජාතියේ අභිමානය ගැන සිත් ඇද බැද ගන්නා කතා කියූ හිට්ලර් නැමති පිදුරු ගහේ ඔවුන් එල්ලුනේ මේ නිසාය. එහෙත් දෙවන ලෝක යුද්ධය අවසානයේ ලෝකයා පාඩමක් ඉගෙන ගත් අතර මාර්ෂල් වැනි සැලසුම් මගින් ජර්මනිය ඇතුලු යුද්ධයෙන් පීඩා විදි රටවල් වලට නැගී සිටීමට ආධාර කලේය. එමගින් නැවත යුද්ධයකට ඇති ඉඩද අවුරා දැමුවේය.
           ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීම වැනි ත්‍රස්තවාදී සංකල්ප වලට අපි එක හෙලා විරුද්ධ විය
යුත්තේ මේ නිසාය. දෙමළ ජනතාවට මෙරට තුල ඔවුන්ගේ භාශාවට සංස්කෘතියට ඇති සුරක්ශිත භාවය පිළිබදව හැගීමක් දිව යුතුය. රටක සංවර්ධනයට එකී රටේ ජනතාවගේ රට ගැන ඇති අභිමානය ඉතා වැදගත්ය. අන්‍ය භාශාවකින් ජාතික ගීය ගයන විට එම අභිමානය ඔවුන්ගේ හදවතට සමීප වන්නේ කෙසේද? එවිට එම ගීය ගයන වාරයක් වාරයක් පාසා අදුරු මතකයන් හා කලකිරීමක් ඔවුන්ගේ සිතට නොනැගෙන්නේද? අද ලෝකයේ විවිධ භාශා වලින් ජාතික ගීය ගයන රටවල් ඕනැ තරම් පවති. කැනඩාව තුල භාශා 2කින්ද ස්විට්සර්ලන්තයේ භාශා හතරකින්ද දකුනු අප්‍රිකාව තුල භාශා2කින්ද ගායනා කරයි. ඒ එම රට වල පවතින ජන විවිධත්වයට ගරු කිරීමක් වශයෙනි. වැදගත් වන්නේ ජාතික ගීය ගායනා කරන විට සිය රට ගැන දැසින් කදුලු එන තරමේ සංවේදී අභිමානයක් ඇති කිරීමයි. අනෙකුත් ජාතීන්ටද තමන් මේ රටේ කොටසක් යයි හැගීමක් ලබා දීමයි.
          ජනාධිපති තූමන් ජාත්‍යන්තරයේ සිය කතා වලදී දෙමළ භාශාවෙන් වාක්‍ය කිහිපයක් හෝ කතා
කිරීම අගේ කල යුතු වන්නේත්, උතුර සංවර්ධනය කිරීමේ අනෙකුත් ඕනැම ව්‍යායාමයක් තරම්ම එය වැදගත් වන්නේත් ඒ නිසාය.දශක ගණනක කුරිරු යුද්ධය අවසානයේ දෙමළ මෙන්ම සිංහල ජනතාවද හෙම්බත් වී ඇත. මේ මොහොතේදී එක් එක් ජාතින් අනෙකා අවබෝධ කරගෙන ඔවුනොවුන්ගේ උවමනා කම් කෙරෙහි බුද්ධිමත්ව අවධානය යොමු කෙරුවහොත් නැවත යුද්ධයකට රට ගෙන යාමට කිසිදු ජාතියක් උත්සාහ නොකරනු ඇත. මෙහිදී මුලින්ම සීල් තැබිය යුත්තේ සිංහල ජාතිවාදීන්ගේ මුවවල් වලට බව මගේ හැගීමයි. එය එදත් එසේමය. අදත් එසේමය.
       මෙහිදී අපි ජාතිවාදීන්ගේ 'ජාතික අභිමානය', 'ජාතික අනන්‍යතාව' වැනි ලස්සන වචන වලට නොරැවටිය යුතුය.
     මහාචාර්ය ඩෙස්මන්ඩ් මොරිස්ට අනුව මාන්ව වර්ගයාගේ ක්‍රියා සැරුම් ප්‍රදේශය අංග තුනකින් සමන්විතය. වාර්ගික/ ගෝත්‍රික ක්‍රියා භූමිය ඉන් එකකි. සමාජ පරිණාමයේ මුල් අවධියේ අපි ගෝත්‍ර වශයෙන් ජීවත් වූවෝ වෙමු. එහිදී අපි අපේ දඩ බිම් ගස්වල යොදන ලද ලාංචන වලින් සීම කර ගතිමු. වෙනත් ගෝත්‍රයක් අපේ දඩ බිම ආක්‍රමනය කලොත් එය මහා සංග්‍රාමයකින් කෙලවර වේ. මෙම මානව චර්යා ලක්ෂණ අදත් නොනැසී පවතී. නොදන්වා ගෙදර වත්තට පැන්නෙකු කෙරෙහි දැඩි කෝපයක් අදත් අපිට ඇති වන්නේ මේ නිසාය. එදා දඩ බිම හා ගෝත්‍රය වැනි සංකල්ප අද රට හා ජාතිය වැනි සංකල්ප බවට පරිවර්තනය වී ඇත. එදා හෙල්ල අද තුවක්කුව බවටද ශරීරයේ ආලේප කල තීන්ත, නිලඇදුම් හා පදක්කම් බවටද පරිවර්තනය වී ඇත. ජාතිවාදීන් සිය අරමුණු සදහා උපයෝගී කරගන්නේ අපතුල සැගවුනු මෙම ගෝත්‍රික ලක්ෂණය. රට ජාතිය කියූ සැනින් අපිටත් නොදැනී අපේ ලේ රත් වන්නේ මේ නිසාය.


හැගීම් වලට වහල් නොවී බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් රට සංවර්ධනය කරා ගෙන යාමට කාලය එලඹ
ඇත.


තමා වරදස නොදිස්නේ
මෙරමා දොස්ම දිස්නේ