Sunday, October 9, 2011

ශ්‍රී ලාංකේය සුභාවිත සංගීතයේ නිර්මාතෘ - අමරදේව - 1 කොටස


(ජීව දත්ත සදහා ඇසුර - ශ්‍රවණ මාධූර්යයේ ගායන ප්‍රතිබිම්භය, විමල් අභයසුන්දර - අමරදේව චිරං ජයතු, සුනිල් ආරියරත්න)

ඉර හද නාදුනන්නෝ මිහිපිට වෙසෙත් ද? අහස පොලව නාදුනන්නෝ මිහිපිට වෙසෙත් ද? ඇල දොල ගංගා නාදුනන්නෝ මිහිපිට වෙසෙත්ද? එනයින් අමරදේව යන ශ්‍රවන රමණීය නාමයෙන් හදුන්වන මහා ගාන්ධර්වයා නාදුනන්නෝ මේ ශ්‍රී ලංකා ධරණීය තලයේ වෙසෙත් ද?
                              - මහාචාර්ය සුනිල් ආරියරත්න-


සැබැවින්ම අමරදේවයන් පිලිබද පැවසීමට අටුවා ටීකා පෙරවදන් අවශ්‍ය නැත. අවිවාදයෙන්ම ශ්‍රී ලංකා ද්වීපයේ පහල වූ සංගීත කලාවේ යෝධයා අසමසමයා ඔහුය. ඔහුට සමකල හැක්කෙක් මෙතෙක් නොවූවා සේම ඉදිරියට වේ ද යන්න සැක සක සහිතය.
          අමරදේවයන් හුදු ගායකයෙකු පමණක් නොවේ. ඔහු අසමසම වන්නේ ඔහුගේ මධුර ගායන කෞශල්‍ය නිසාම නොවේ. ඔහු අද්විතීය වාදකයෙකු මෙන්ම ඒ සියල්ලටමත් වඩා අසමසම සංගීත ප්‍රාඥ්ඥයෙකු වෙයි. වර්තමාන ශ්‍රී ලාංකීය සංගීතයට අනන්‍යතාවක්, ශ්‍රී ලාංකේය සංගීත සම්ප්‍රදායක් පවතින්නේ ඔහු නිසාය.   
        හෙල සංගීත කලාවේ යෝධයන් තිදෙනෙකු වෙයි. ශ්‍රී ලාංකීය සංගීතය අගාධයන්හි වැටී තිබෙන කාල වකවානු වලදී එය කර තබා ගත්තේ මොවුන් තිදෙනාය. ඒ ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත හා පණ්ඩිත් අමරදේවයන්ය.  
         සමරකෝන් මෙරට ස්වත්‍රන්ත ගීත කලාවක් බිහි කල අතර සුනිල් ශාන්තයන් බටහිර සංගීතය හමුවේ හෙල සංගීතය වැලලී යන මොහොතක නැවත එම ගීත කලාව ඉහලට ගෙන ඒමට සමත් විය. නමුත් මේ දෙදෙනාටම සංගීතමය මහා සම්ප්‍රදායක්, වෙනත් අයුරකින් කිවහොත් දේශීය අනන්‍ය තාවයකින් හෙබි හෙල සංගීත කලාවක් බිහි කිරීමට නොහැකි විය. එම ඌණ පූර්ණය සිදු කලේ අමරදේවයන්ය. එබැවින් මෙම තිදෙනා අතර අද්විතීයම සංගීතඥයා අමරදේවයන් වෙයි.
           ලෝකයේ ඇත්තේ මහා සංගීත සම්ප්‍රදායන් දෙකක් පමණි. යුරෝපීය සංගීත සම්ප්‍රදාය හා භාරතීය සංගීත සම්ප්‍රදායය. ලෝකයේ අනෙකුත් සංගීත සම්ප්‍රදායන් මහා සම්ප්‍රදායන් ගනයට ගත නොහැක. ඒවා හුදු සංගීත ශෛලීන් පමණකි. ඒවායේ මුල් බැසගත් ආධ්‍යාත්මික ගැඹුරක්, දියුනු සංගීතමය පද්ධතියක්, තාල පද්ධතියක්, ගායන තාක්ශනික ක්‍රම ආදී තවත් අනේක විධ ලක්ශණ වලින් අඩුපාඩුකම් දක්වයි. අප අනන්‍ය වූ සංගීත සම්ප්‍රදායක් ගොඩ නැගීමටනම් මෙම සම්ප්‍රදායන් දෙකෙන් එකක් ඇසුරු කල යුතු බව අමරදේවයන් වටහා ගත්තේය. ඒ සදහා ඔහු තෝරා ගත්තේ අපට වඩාත් සමීප වූ භාරත සංගීත සම්ප්‍රදායයි.
            කුඩා කල සිටම පල්ලියේ ගීතිකා ගායනා කිරීමටත් පන්සලේ දොරකඩ අස්න කීමටත් ඔහුට අවස්ථාව ලැබුනේ ඔහු සතු නිසග ගායන කෞශල්‍යය නිසාමය. කුඩා කලදී ඔහු වැඩි ලෙසම යොමු වූයේ ගායනයට නොව වයලීන වාදනයටය. සිය හත්වන වියේදී පියා වෙතින් තෑගි ලැබුනු වයලීනය වාදනයට ඔහු මහත් ලෙස ඇලුම් කල අතර ඊට ඉමහත් දක්ශතාවයක්ද දැක්වීය. 
          සිය පාසල් වියේදීම දීප ව්‍යාප්ත ගායන හා වාදන තරග තුලින් ඉමහත් ජනප්‍රියතාවයක් හිමි කරගත් ඇල්බට් ( අමරදේවයන්ගේ මුල් නම ) පසු කලෙක ගවුස් මාස්ටර් විසින් ඔහුගේ කෞශල්‍ය හදුනා ගැනීමත් සමගම ඔහුගේ වාද්‍ය මණ්ඩලයේ ප්‍රධානියා බවට පත් කර ගනු ලැබිනි. මෙකල ගුවන් විදුලි වාද්‍ය මණ්ඩලයටද සම්බන්ධ වූ තරුණ අමරදේවයන්ගේ හැකියාව පිලිබදව ගවුස් මාස්ටර් නොබෝ කලෙකින්ම අතිශය පැහැදීමට හා ප්‍රසාදයට පත් විය.ඉන් පසු ඔහුගේ ගුරු හරුකම් හමුවේ සිය නිසග සංගීත ඥානය විදහා ලමින් නොයෙකුත් ගීතයන් හා නාට්‍යයන් සදහා සංගීත නිර්මාණය කිරීමට ඔහු යොමු විය.
                 ඔහුගේ දිවියේ වැදගත්ම හා ස්වර්ණමය අවස්ථාවක් වන්නේ ඉන්දියාවේ භාත්කන්ඩේ විශ්ව විද්‍යාලයේ විද්‍යාලාධිපති ශ්‍රී රත්නජන්කර් පඩිතුමා ගුවන් විදුලි සංගීත ශිල්පීන් වර්ගීකරණය කිරීමට ලංකාවට පැමිණීමය. එහිදී අමරදේවයන්ගේ අති සුවිශේශී වූ හැකියාවන් දුටු රත්නජන්කර් පඩිතුමා ඉහලම ශ්‍රේණියේ ගායකයා ලෙස ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරාත් ගායිකාව ලෙස කෝකිලාදේවී වීරතුංගත් තෝරාගත්තේය.
        ඉන් පසු භාරතයේ භාත්ඛන්ඩේ විශ්ව විද්‍යාලයේ සංගීතය හැදෑරීම සදහා පිටත්ව ගිය ඔහු එහිදී ශ්‍රී විශ්ණු ගෝවින්ද්, ජෝග් උස්මාන් ඛාන්, මඛ්ශූඩ් අලි ඛාන් වැනි අග්‍ර ගන්‍ය සංගීතඥ්ඥයින් ගෙන් ශිල්ප හැදෑරුවේය. මෙහිදී සුවිශේශී සිදුවීමක් ලෙස සදහන් කල යුතුව ඇත්තේ අමරදේවයන්ගේ කලා කෞශල්යය පිලිබදව අතිශය පැහැදීමට පත් ගෝවින්ද් පඩි තුමා සිය පුත්‍රයාගේ කුලුදුල් පුතුට අමරදේව යනුවෙන් නම තැබීමය. 1955 දී සමස්ත ඉන්දීය වයලීන වාදන තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් අමරදේවයන් ඉන්පසු නොයෙකුත් රටවල සංචාරයේ නිරත වෙමින් ඒවායේ සංස්කෘතිකාංග අධ්‍යනයේ නිරත විය.
          තවත් සදහන් කල යුතු විශේශ කරුණක් වන්නේ 1971 දී මාලදිවයින් රජයේ ආරාධනයෙන් එහි ගොස් කල පර්යේශනයකින් පසු මාලදිවයින් ජාතික ගීය නිර්මාණය කිරීමය. තවද මෙකල ඔහු ලැබූ අනේක විධ සම්මානයන්, පදවි තනතුරු , නොයෙකුත් පර්යේශණයන් හා සංගීතය සැපයූ නිර්මාණයන් අප්‍රමාණ බැවින් ඒ සියල්ල මෙහි සදහන් කිරීම නොකල හැක්කකි.  
          භාරත අධ්‍යාපනයෙන් පසුව නැවත ලංකාවට පැමිනි අමරදේවයන් කල මූලික්මා කාරණය වන්නේ දේශීය අනන්‍යතාවයකින් යුතු සංගීත පද්ධතියක් සදහා පර්යේශන කිරීමය. හෙල ජන සංගීතය බොහෝ විට සමන්විත වන්නේ සීමිත ස්වර පරාසයකින් හා සරල තාල පද්ධතීන්ගෙනි. කල්පවත්නා දියුනු සංගිත සම්ප්‍රදායක් සදහා මෙය නොසෑහෙන බව වටහා ගත් අමරදේවයන් සිය අති විශිෂ්ඨ වූ සියුම් සංගීත ඥානය උපයෝගී කොට ගෙන සූක්ශම ලෙස හෙල ජන සංගීතය භාරතීය සංගීත සම්ප්‍රදාය හා සම්බන්ධ කොට ශ්‍රී ලාංකේය සුභාවිත ගීත සම්ප්‍රදාය බිහි කලේය. ශ්‍රී ලංකාවේ එදා සිට අද දක්වා පවතින්නේ අමරදේවයන් බිහිකල මෙම ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් හෙබි ගීත සම්ප්‍රදායයි. 
            අමරදේවයන් විවිධ සංගීත පද්ධතීන් ඇසුරු කලද ඔහු ඒ එකකටවත් වහල් වූවෙකු නොවීය. ඔහුගේ සංගීත නිර්මාණයන්හි පවතින විචිත්‍රත්වය සුනිල් ආරියරත්නයන්ගේ පහත ප්‍රකාශයෙන් මොනවට හෙලි වෙයි.
         "ජගන් මෝහිනී", "පාරමිතා බල පූජිත" වැනි නිර්මාණ වලින් උත්තර භාරතයේ උපන්, "ඔබේ නමින් සෑය බදිමි", "ඉරට මුවාවෙන්" තුලින් දක්ෂිණ භාරතයේ උපන්, "ගලන ගගකි ජීවිතේ", "සදුන් ගසේ" තුලින් යුරෝපයේ උපන්, "කැලේ ගහක මල් පිපිලා"තුලින් යක් දෙස්සෙකුව උපන්, "රන්වන් කරල් පැසෙයි" තුලින් උඩරට උපන්, " කිරණින් සොමි සද" තුලින් විරිදු ගායකයෙකුව වූ, "ආලෙ බැන්ද මාගෙ රම්‍යවන්" තුලන් නූර්ති ශිල්පියෙකුව වූ, "මාගේ පන වැනි සෝමාවතී" තුලින් නාඩගම් කරුවෙකුව වූ, "පිපී පිපී රේණු නටන" තුලින් බයිලා ගායෙකුව වූ අමරදේවයන් අපට දැක ගත හැක.
           වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, දයාරත්න රණතුංග ආදී එකී මෙකී නොකී ඉන්පසු බිහි වූ සියලුම විශ්ෂ්ඨ සංගීත ශිලිපීන් සියල්ලම අමරදේව ගීත සම්ප්‍රදායේ අනුප්‍රාප්තිකයෝය. ඉන් එහාගිය ශ්‍රී ලාංකේය අනන්‍ය සංගීත සම්ප්‍රදායක් බිහි කිරීමට තවමත් මෙතෙක් කිසිවෙකු සමත්ව නැත. මෑත කාලීන යුගයේ බිහිවූ අති විශිෂ්ඨ සංගීත ශිල්පීන් වන කසුන් කල්හාර, නදීක ගුරුගේ, නදීක ජයවර්ධන, ඉන්ද්‍රචාප ලියනගේ කුලකය යම් වෙනසක් කරා ඇදී යමින් සිටියද ඔවුන්ගේ නිර්මාණ තුලද අමරදේව ගීත සම්ප්‍රදායික ලක්ශණ බෙහෙවින් ගැබ්ව පවතී. 
                  අමරදේවයන් මෙරට සංගීත කලාවට කල සේවය අනුපමේයය. විශිෂ්ඨය. ඔහු හා සම කෙනෙක් නැත. ඔහුගේ සංගීත ඥානයට අලගු තැබීමටවත් කෙනෙක් මෙතෙක් බිහිවී නැත. ඔහුගේ සංගීතමය දාර්ශනික පොහොසත්කම විදහාපාන නාද සිත්තම් කෘතිය රාජ්‍ය සම්මානයට පාත්‍ර වුයේද මෙම නිසාය.   ( 2 කොටසට මතු සම්බන්ධයි )

No comments:

Post a Comment