Saturday, October 8, 2011

ආගම හා නිදහස් චින්තනය...




















සැබැවින්ම මානව සමාජය තුල උපතින් අපට උරුම වන ආගම අපේ නිදහස් චින්තනයට බාධාවක්ද? එසේ බාධාවක් වුවද ඒ හැරෙන්නට සාර්ථක විකල්ප සමාජ ආකෘතියක්  අපට තිබේද? සැබැවින්ම නිදහස් චින්තනය යනු කුමක්ද? බොහෝ නිරාගම්වාදීන් මේ පිලිබදව පොට පටලවාගෙන සිටින බව මගේ හැගීමයි. පහත දැක්වෙන්නේ පසුගිය දිනක මේ පිලිබදව යම් සංවාදයක නියැලුනු මා විසින් අදාල එක් නිරාගම්වාදී සොහොයුරෙකුට ලබා දුන් පිලිතුරකි. 




ඔබේ පරශ්නයේ පදනම පැහැදිලිව ඉදිරිපත් කරන්න යයි කී විට **** සහෝදරයා ඉතා පැහැදිලිව ඔහුගේ ස්ථාවරය ඉදිරි පත් කලේය. ඒ පහත පරිදිය.

//යම් පුද්ගලයෙකු ආගමක් විශ්වාස කරන්නේ ඔහුගේ පියාගේ ආභාශය මතය.ඔබ බෞද්ධ වූවේ ඔබේ පියා බෞද්ධ වූ නිසා නොවෙද? පියා වෙනත් ආගමිකයෙකු වූයේ නම් ඔබ අද එම ආගමේය. පියා සංසාර චක්රය පිලිගතහොත් ඔබත් එය පිලිගනී. පියා අල්ලාහ් පිලිගතහොත් ඔබත් පිලිගනී. පියා මහාබ්රහ්මයා පිලිගතහොත් ඔබත් පිලිගනී.මිනිසාගේ නිදහස් චින්තනයට හා බුද්ධියෙ වර්ධනයට බධාකර ඇති අයුරු බලන්න. විකල්පය නම් සෑම දරුවෙක්ම බලහත්කාරීව ආගමට යොමු නොකර සියළු ආගම් වල හරයන් ඉගැන්වීම තුලින් යම් දිනෙක ඔවුන්ට කැමති ආගමක් පිලිගැනීමට හෝ කිසිදු ආගමක් පිලි නොගැනීමට හෝ අයිතිය ලබාදීමයි. //

මෙහි යම් සත්යයක් ඇත.. ඇත්ත වශයෙන්ම ලොකු සම්භාවිතාවක් ඇත. නමුත් මෙම සම්භාවිතාවේ ප්රමාණය විවිධ සාධක මත රදා පවතින බව අපට ප්රත්යක්ශයක් වශයෙන්ද, ප්රායෝගිකවද දැක ගත හැක.


මේ සාධක අපට බාහිර හා අභ්යන්තර ලෙස වර්ගීකරණයක් කල හැක. ආගමේ හෝ දර්ශනයේ අන්තර්ගත වන රීති හා එහි දාර්ශනික ප්රවේශය අභ්යන්තර වන අතර එය ග්රහනය කොට ගෙන සිටින බාහිර සමාජමය ස්වරූපය බාහිර වේ.කුඩා දරුවෙකුට මෙම බාහිර සමාජය යන කාරණය ප්රධාන වශයෙන් සිය පවුල් ඒකකයට ඌණනය වේ.


අභ්යන්තරික සාධක පමණක් සැලකිල්ලට ගැනීමේදී එවැනි බලහත් කාරයකට, බල කිරීමකට බුද්ධ දර්ශනය තුල කිසි සේත් ඉඩ නැති බවත් එය සාර්ව ප්රජාතාන්ත්රික දර්ශනයක් බවත් සියලුම දෙනා පිළිගත යුතුය. එය ඔබද මමද දනී. එහි දාර්ශනික ප්රවේශය, විමුක්ති මාර්ගය තුල එවැනි කිසිදු පැසිස්ට්වාදයකට අබ මල් රේණුවක ඉඩක් නැත.


එම නිසා ඔබ මේ ඉදිරිපත් කරන තර්කය පූර්ණ බාහිර සාධක පමණක් සලකා සංවාදයට බදුන් විය යුතුය. එහි දාර්ශනික හරය හා නිවැරදිතාවය ගැන මෙහි තර්කයක් නැත. එම අභ්යන්තරය ගැන ප්රශ්නයක් ඔබට ඇත්නම් එය වෙනත් සංවාදයක් තුලින් නිරාකරණය කල යුතු අතර මේ පේජය තුලදී බුද්ධ දර්ශනය හමුවේ ලොව බිහිවූ තවත් ශ්රේශ්ඨතම දර්ශනයක් වන දයලෙක්තිකය නට්ටං වී ගිය අයුරු මෙහි සිදු වූ දේ වලින් ඔබටම නිරීක්ශනය කළ හැකි වනු ඇත.


හොදයි එහෙනම් අපි මෙම සංවාදය බාහිර සාධක මත පදනම් ව කරගෙන යමු. මේ දෙක පටලවා ගැනීමෙන් කාටවත් සෙතක් නැත.


පෘතග්ජන මිනිසුන්ගේ සියලු දෘශ්ඨීන් සාපේක්ශ හා අනන්ය වේ. බුදුවරුන් දෙදෙනෙකුගේ ලෝක දෘශ්ඨිය හැරෙන්නට අනෙකුත් කිසිදු අනාගත අතීත හෝ වර්තමාන මනුශ්ය ප්රාණියෙකුගේ දෘශ්ඨිය සර්ව සමාන වීමේ හැකියාවක් නැත. තම මිතුරා, මව කෙරෙහි දක්වන ආකල්පයේ සිට, ඔහුගේ දාර්ශනික ලෙස ලෝකය ග්රහනය කර ගැනීම වැනි සංකීර්ණ අවස්ථා දක්වා සැලකූ විට ඕනෑම මනුශ්ය ප්රාණින් දෙදෙනෙකුගේ චින්තන රටාව අනන්ය වේ.


මිනිසාගේ නිසග හා සදාතනික ස්වභාවය වනුයේ තම දෘශ්ටිය අනෙකුත් දෘශ්ඨීන් අභිභවා ජයග්රහනය කරනු දැකීමේ අභිලාශයයි. එය මානවයින් සතු ගුණාංගයක් මෙන්ම අත්යාවශ්ය මානවීය ගුණයක් ද වේ. එය නැත්නම් ලෝකය අද සිටින තැනට සමාජමය වශයෙන් පරිණාමය වීම උගහටය. ලෝකයේ දැනුම ප්රචාරණය වන්නේත් විද්යවේ ජයග්රහනයන් මෙතෙක් දුර ආවේත් ( දැවැන්ත නිව්ටෝනියානු භෞතිකය දෙදරවූ විශේශ හා සාමාන්ය සාපේක්ශතාවාදය අයින්ස්ටයින් ඉදිරිපත් නොකරනු ඇත. මැක්ස් ප්ලාන්ක් බටහිර විද්යාවේ මහා විප්ලවයක් වූ ක්වොන්ටම් භෞතිකයට අත්පොත් නොතබනු ඇත. ), කලාව සාහිත්ය වර්තමාන තත්වයට පරිණාමනය වූයෙත් මිනිසා සතු මේ නිසග ගුණය නිසාය. මේ නිසග මානුශීය ගුණාංගය කප්පාදු කර දැමීම යථාර්තයක් නොවන සිහිනයක් පමණක් වන අතර බැරි වෙලාවත් සිහිනයක් තුලදී හෝ එය සිදු වුවහොත් ලෝක ප්රගමනය එයින්ම නවතිනු ඇත.


මෙන්න මේ නිසග මානුශීය ගුණය නිසා ඔබ කියන දෙයෙහි යථාර්ථවාදී බව පොඩ්ඩක් අඩු වෙනවා සහෝදරයා. උදාහරණයක් විදියට අපේ ගෙදර තාත්තා ගමු. ඔහු දැඩි කතෝලිකයෙකු බව උපකල්නය කරමු. එවිට ඒ ගෙදර පවතින්නේ කතෝලික වටපිටාවයි. එවිට ගෙදර උපදින පොඩි එකාට නිසගයෙන්ම ලබෙන්නේ කිතුනු ආභාශය නෙමේද? මන්ද පියාගේ දෘශ්ඨිය කතෝලික වන අතර ඔහු ලොකයේ පැවැත්ම හා එහි අරමුණ කිතුනු වාදී දෘශ්ඨියකින් ඔහුට සාපේක්ශව සාධාරණ ලෙස දකී. ඔහුට අනුව එය නිවැරදිය. එවිට මා ඉහත කියූ මානුශීය ගුණය නිසා ඔහු තම නිවසේ තම දෘශ්ඨිය ජයග්රහනය කරනු ලැබීම දැකීමට කැමතිය.


ඔහු සිය පොඩි එකා උකුලට ගෙන නලවමින් කියා දෙන්නේ මෝසස් පිලිබද කතන්දරය. ජේසු තුමන් පිලිබද කතන්දරය . මරියතුමියගේ කථාවය. ඒ තම පුත්රයාට තිබෙන අප්රමාණ ස්නේහය නිසාය.පොඩි එකා එහා ගෙදර පොඩි එකා සමග රණ්ඩු කරන විට උකුලට ගෙන ආදරයෙන් "පුතේ ජේසු තුමා කිව්වා මතකයි නේද අසල්වැසියාට ප්රේම කරන්න දෙවියො පුතා දිහා බලාගෙන ඉන්නෙ යයි පවසනු ඇත". මන්ද ඒ ඔහුව අනුව නිවැරදි දෘශ්ඨියයි. තම කුඩා නිවැරදි මග ගොස් අගතියට නොගොස් ස්වර්ගය කරා යනු දැකීම ඔහුගේ එකම අභිලාශයයි.


එහෙම නැතුව අවුරුදු 4 පොඩි එකාට "පුතේ එහා ගෙදර ලමයා එක්ක රණ්ඩු කරන්න එපා මමනම් එහෙම හිතන්නෙ ජේසු තුමා කියපු නිසා. ඒත් ඒක හරියටම හරිද දන්නෙ නෑ. ඔයාම හොයල බලන්න" ,නැත්නම් "පුතා ඒක සමාජ සාරධර්ම වලට අනුකූල නෑ. නැත්නම් වෙන ප්රශ්නයක් නෑ " යයි පවසන අවස්ථාවක් ගැණ සිතීම හුදු හිතලුවකි. එයට එක් හේතුවක් නම් කිතුනු භක්තිකයෙකු වූ පියා තමා සිටින්නේ නිවැරදි මාර්ගයේයයි දැඩිව විශ්වාස කරන අතර සිය පුතා අගතියට යාම ඔහුගේ පුත්ර ප්රේමයට නුහූලන නිසාය. දෙවන කාරණය තම දෘශ්ඨිය ජයග්රහනය කරනු වස් දැකීමේ ඔහු තුල ඇථි නිසග මානුශීය ගුණයය. තුන්වන කාරණය මෙවැනි දෙයක් තේරුම් ගැණීමට අවුරුදු 4 පොඩි එකාට නොහැකි වීමය. මෙවැනි කතා 10ක් 15ක් දවසකට ඇසුවහොත් ඒ පොඩි එකාට පිස්සු වැටෙනු ඇත.එමෙන්ම කුඩා දරුවෙකු නිවැරදිව සමාජානුගත වීමේදී එකී නිවස තුලින් දෘශ්ඨිය ලැබීම් ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. මන්ද කුමන දෘශ්ඨියක් වුවද, කුමන වෙනස් කම් තිබ්බද සමාජ සාරධර්ම වලට එම දෘශ්ඨිය අනුකූල වන නිසාය. දෘශ්ඨිය නොලැබෙන වීදි දරුවන් නිවැරදිව සමාජානුගත නොවන්නේ ත් එම නිසාය.


මේවා පවුලක් තුල පවතින උත්තර මානුශීය සම්බන්ධතා වන අතර ඒවාට නීති පනවන්නටත් අතගසන්නටත් යාම ප්රායෝගික නොවන අතර බැරි වෙලාවත් එසේ කිරීමට කවුරු හෝ සමත් වුවහොත් ඉතිහාසයේ පුත්ර පිය ප්රේමය නැති කල අමනයා ලෙස ඔහු ඉතිහාස ගතවනු ඇත.


ඔබේ අභිලාශය වන්නේ විවිධ දෘශ්ඨීන් ගැන සංවාදයට බදුන් වන, කරුණු දක්වන, එමගීන් දෘශ්ඨීන් තහවුරු කරගන්නා, සමාජයක් ගැණය. එම සමාජයේදී මා ඉහත කියූ නිසග මානුශීය ගුණය වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. මන්ද යම් දර්ශනවාදයක් වෙනුවෙන් පෙනී සිටින්නේත්, ඒ වෙනුවෙන් සංවාද කරන්නේත් එම දර්ශනවාදයේ නිවැරදි භාවය දැඩිව විශ්වාස කරන පුද්ගලයින් වන අතර තම දෘශ්ඨිය අනෙකුත් දෘශ්ඨීන් මත ආධිපත්යමය දෘශ්ඨිය වනු දැකීම අන් ඕනෑම මානවයෙකුගේ මෙන්ම ඔහුගේද අභිලාශයයි. මෙම තත්වය වෙනුවෙන් පෙනී සිටින ඔබ පියාගේ අභාශය දෘශ්ඨිය හය හතර නොතේරෙන දරුවෙකුට ලැබීම සම්බන්ධයෙන් විරුද්ධවේ. මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උභතෝකෝටික වේ.


උදාහරණයක් ගන්න. ඔබ මෙතන කරන්නේ කුමක් ද? ඔබේ අභිලාශය ( ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබේ උප විඥ්ඥානය විසින් ) ඔබේ මතය අප තුලට කා වැද්දීමට උත්සාහ කිරීමය. මා කරන්නේද එයමය. දැන් අපි දෙදෙනාගේ දරුවන් සලකා බලමු. ඔබ ඔබේ දරුවාට ඔබේ දෘශ්ඨිය ගෑවීමට ඉඩ හරින්නේ නැද්ද? ( සියලු දෘශ්ටීන් විමසා බැලීමට ඉඩ දෙනු යන ඔබේ දෘශ්ඨියද, මගේ දෘශ්ඨියට වඩා තරමක් ලිබරල් වාදී බවින් වැඩි වුවද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය තවත් එක් ලෝක දෘශ්ඨියක් පමනි. ). අනෙක් අතට බෞද්ධයෙකු වන මා, මා නිවැරදි යයි දැඩිව විශ්වාස කරන අතර මගේ පුතා අපා ගත වීමට ඉඩ දී බලා හිදීද??එසේ කලහොත් ලෝක ඉතිහාසයේ නින්දාසහගතම පියවරුන් අප දෙදෙනා වනු ඇත. නිතැතින්ම මගේ පුතා පන්සලට යොමු කිරීමටත් ධර්මශ්රවණය කිරීමටත් යොමු කිරීමට මා පෙලබේ. මෙවැනි මානව සබදතා වල අත පෙවීම වීහිලුවකි. දැනට තිබෙන සමාජය හා ඔබ සිහින දකින සමාජය තුලදීද මෙය යථාර්තයක් නොවන ෆැන්ටසියකි.


අනෙක් අතට ඕනැම මතවාදයක් පැවතීමටනම් ඒ මතවාදය නියෝජනය වීමේ මාධ්යයක් ලංකාව තුල තිබිය යුතුය. බුදු දහමේ එම මාධ්යයන් වන්නේ සංඝයා වහන්සේ, පන්සල් හා දහම් පාසල් ය. එම නිසා ඒවා අහෝසි කර දැමීම දරුණු ආකාරයේ පැසිස්ට් වාදී ක්රියාවක් වන අතර එය ඔබේ දෘශ්ඨියට සම්පූර්ණයෙන් පටහැනි වේ.


ඇනික ඔය යකා කියන තරම් කලු නැත. මම ආගමික ග්රන්ථ වශයෙන් පමණක් මේ වන විට කුරාණය හා බයිබලය කියවා ඇත්තෙමි. ඒවායින් ජීවිතයට ගත යුතු දෙය ගත්තෙමි..නලින් ද සිල්වාගේ මතයන් අධ්යනය පසු ගිය කාලයේ ආරම්භ කලෙමි. ඕනෑම කෙනෙකුට ඕනෑම දර්ශනයක් අධ්යනය කිරීමේ නිදහස වටපිටාව අවශ්යනම් ලගා කරගත හැක. අනික ඔය කියන තරමේ අන්ධ භක්තියක් තොරතුරු තාක්ශණයේ දියුනුවත් සමග අද ලාංකික තරුණ පරපුර තුල නැත. ( අතීත සංවෘත සමාජය තුලනම් ඔය කාරණය තරමක් දුරට සත්යය ) බෞද්ධ සාහිත්, ජාතක කතා හා බුද්ධ දර්ශනය වෙන්කර හදුනා ගත නොහැකි අවුරුදු 20, 21 තරුණ ගැටයෙකු ඔබට සොයාගැනීමට අපහසු වනු ඇත .( ඕනෑනම් මෙතන සිටින තරුණ බෞද්ධයින් ගෙන් අසා බලන්න ). එමෙන්ම බුදු පිලිම වලින් රැස් විහිදුනායයි කී විට කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතුව සාදුකාර දුන් තරුණ ගැටයෙකු සොයා ගැනීමට ඔබට නොහැකි වනු ඇත. අකුණු සැර වදින විට සාදුකාර දෙන තරුණ ගැටයෙකු ඔබට සොයා ගැනීම්ට අපහසු වනු ඇත.


කෙනෙකුට සිය ලමා කාලය තුලින් යම් දෘශ්ඨියක ආභාශය ලැබීම නොවැලැක්විය හැකි මෙන්ම එය සමාජ පැවැත්මට අත්යාවශ්ය වේ. දැනුම් තේරුම් ඇති වයසට ආ විට තොරතුරු තාක්ශනයේ දියුණුවත් සමග ඕනෑම කරුණක් විමසා බැලීමට මිනිසා නිතැතින්ම පෙලබෙන අතර ( මා ඉහත කී තරුණ පරපුරේ වෙනස පවතින්නේ මේ නිසාය ), එසේ කිරීමට නිදහස ඕනෑ තරම් ඇත. තමාගේ දෘශ්ඨිය සත්යයයි සිතන කෙනෙකුට එසේ නොකර සිටීමට ද නිදහස ඇත. එසේ නැතිව සියලු දර්ශනවාදයන්, ඔබ සදහන් කල පරිදි ලදරු අධ්යාපනය තුලින්, බලහත්කාරයෙන් ලමා මනස තුලට ඇතුල් කිරීමේ ක්රියාදාමයකට ගිය හොත් ( විශයක් බලහත්කාරයෙන් ඉගැණ්වීම හා ලෝක දෘශ්ඨියක් බලහත් කාරයෙන් ඉගැණ්වීම අතර වෙනස තේරුම් ගැණීමට තරම් ඔබ බුද්ධිමත් යයි සිතමි. ) ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුවේ.

එකක් එහි ප්රායෝගිකත්වයය.අනික දර්ශනයන්, ආගම් කියල කීයක් උගන්නන්නද?. අනික ලමා මනසකට දෘශ්ඨිමය වශයෙන් බලපාන්නේ ගෙදර පරිසරය මිස පාසලේ පැය ගණනකදී උගන්වන දේ නොවේ. ඊට වඩා කාර්ය භාරයක් හා ඉගෙනීමේ නිදහසක් මා ඉහත කී පරිදි අන්තර්ජාලය තුලින් දැණටම ලගා වී ඇත. අනික කුඩා කලදී කුඩා දරුවන් හට දර්ශනවාදයන් උගැන්වීමට ගියහොත් ලෝකයම අපට සිනහ සෙනු ඇත. අනික් කාරණය මේ බලහත්කාරය තුල නැවත ඔබ දකින ලිබරල්වාදී අදහසක් නොව පැසිස්ට්වාදයක් ගැබ්ව ඇත.


නමුත් ඔබ කී මේ කාරණයට මම එකග වෙමි. දහම් පාසල් අධ්යාපනය තුල විශය නිර්දේශ වෙනස් විය යුතු බව මම ද අදහසක සිටිමි. ගමේ සිටින පැන්ශන් ගිය ආච්චිලා 'යමක් තේරුම් ගත හැකි වයසේ' සිටින දරුවන්ට ජාතක කතා කියා දීම වෙනුවට යම් ප්රමිතියක් ඇතුව මේ දේවල් සකස් විය යුතුය. අනික හාමුදුරුවන් වුවද, පෝය දවසට කොටට ඇදන් ඉන්න ගෑනු ලමයින බනිනවාට වඩා, ලව් කරන කෙල්ලන්ට කොල්ලන්ට බනිනවාට වඩා හරවත් යමක් දේශනා කිරීමට උත්සාහ කල යුතුය. මන්ද හරවත් ගැඹුරු ධර්මය පිපාසාවේන් සිටින බෞද්ධයෝ අපමණ මේ රටේ සිටින බැවිනි.


මා මේ මගේ අදහස් පල කරේ ඔබේ ප්රශ්නය පැහැදිලිව ඉදිරිපත් කරන්න යයි මා කියූ අවස්තාවේ පැහැදිලිව ඔබ ඉදිරිපත් කෙරූ ප්රශ්නයට පමණි.

1 comment:

  1. මේ පිළිබඳව ගැඹුරින් කතා කල යුතු වේ.මන්ද රට නිරාගමික කිරීමක් ගැන සමාජීය වශයෙන් කතා බහක් පැවතීම ඊට හේතුව යි.
    නමුත් උක්ත ප්‍රශ්නයට ඔබ ලබා දුන් පිළිතුර යෝග්‍ය යැයි හැගෙමි.

    ReplyDelete