Sunday, October 9, 2011

ශ්‍රී ලාංකේය සුභාවිත සංගීතයේ නිර්මාතෘ - අමරදේව - 2 කොටස

(ජීව දත්ත සදහා ඇසුර - ශ්‍රවණ මාධූර්යයේ ගායන ප්‍රතිබිම්භය, විමල් අභයසුන්දර - අමරදේව චිරං ජයතු, සුනිල් ආරියරත්න)

         අමරදේවයන් තරම් සිය ගායනයේදී භාවප්‍රකාශණය උපරිමයෙන් භාවිතා කරන ශිල්පියෙක් ලාංකීය ඉතිහාසය තුල බිහි වී නැත. ඔහු ගීතයක් ගායනා කරන විට කනට මෙන්ම ඇසටද රසය. ගීතය තුලට සම වදින ආකාරය හා සිය කටහඩ පාලනය තුලින් ප්‍රේක්ශකයා ගීතයට අවශෝෂණය කරගන්නා ආකාරය මනෝහරය. ඔහු තරම් ගීතයේ අර්ථයට අනුකූලව ප්‍රේක්ශකයා තුල හැගීම ජනිත කරවන ගායකයෙකු තවත් නැත. ඔහුගේ සජීවී හා පටිගත කරනලද ගායනයන් අතර වෙනසක් නැති තරම්ය. 
  ඔහු ගීත ගායනයේදී අලංකාර යොදන ආකාරය බොහෝ නවක ශිල්පීන්ට ආදර්ශයකි. ඕන තැනටත් එපා තැනටත් එක සේ අනවශ්‍ය අලංකාර යොදමින් ගීතයේ භාවය විනාශ කරන බොහෝ ශිල්පීන් මෙන් නොව අවශ්‍ය තැන නිසි අලංකරණ හසුරුවමින් පූර්ණ භාව ප්‍රකාශනයෙන් යුතුව ඔහු ගායනා කරන ආකාරය මධුර මනෝහරය.
        ඔහුගේ සෑම වචන උඡ්චාරණයක්ම අදාල හැගීම ජනිත කරවන ආකාරයට හා ඉතා පැහැදිලිව සිදුවේ. මහප්‍රාණ අල්පප්‍රාණ භේදය මැනැවින් පෙන්නුම් කරන ඔහු සිය හස්ත මුද්‍රා ශිල්පීයමය හැකියාව තුලින් ගීතය තවත් රස ගන්වයි. ඔහුගේ ජගන් මෝහිනී ගීතය ඔහුගේ අසමසම තනු නිර්මාණාත්මක හැකියාවත් මධුර මනෝහර ගායනයත් පිලිබිඹු කරන කැඩපතක් වැනිය. රාග කිහිපයක් ඇසුරු කර ගනිමින් ඔහු අතින් නිමවුනු භක්ති රසය දනවන මෙම ගීතය පිලිබදව සුනිල් එදිරිසිංහයන් වරක් පැවසුවේ 

"අමරදේව සර් ජගන් මෝහිනී ගීතය ගායනා කලාට පසුව ලෝකයට තවත් සරස්වතී ප්‍රණාම ගීයක අවශ්‍යතාවය නැතුව ගියා. එය එතරම්ම පරිපූර්ණයි " යනුවෙනි.



         එමෙන්ම ශ්‍රී ලාංකික දේශාභිමානී ගී අතුරින් අසමසම මුදුන් මල්කඩ හා මා සලකන "රත්න දීප ජන්ම භූමි" හා සැසදිය හැකි දේශාභිමානී ගීයක් තවත් නැති බව මගේ හැගීමයි. අමරදේවයන් මෙම ගීතය තනු නිර්මාණය හා ගායනය තුලින් ජනිත කරවන හැගීම ජනිත කරවීමට අනෙක් කිසිදු ගීයක් සමත් නැති බව මගේ පෞද්ගලික මතයයි. 




           ඔහු ගායනයේදී ශෘති පිහිටවීම අතිශය නිරවද්‍යය. ඉතා සියුම්ය. මෙය පිලිබද අගය කරමින් සුනිල් එදිරිසිංහයන් වරක් පැවසුවේ "හීයක් නියම ඉලක්කයට විදිනවා" වැනිය යනුවෙනි. 
            
           පසුගිය දිනෙක වෝටර්ස් එජ්හි පැවති ප්‍රනාම උලෙලකදී අමරදේවයන් අපහසුවෙන් වේදිකාවට නැග ගීත ගායනා කල අයුරු මා මවිතයට පත් කලේය. ඔහුගේ භාවය, ශෘතිය, අතිශය නිවැරදි උඡ්චාරණය ආදී ලක්ශන වලට වියපත් බව බාධාවක් නොවූ සැටියකි. ප්‍රබුද්ධ මෙන්ම අති විශිෂ්ඨ හා අසහාය ගායකයන් වන වික්ටර් රත්නායකයන්, දීපිකා පීරිස්, සනත් නන්දසිරි, සුනිල් එදිරිසිංහ වැනි ගායකයන් තුලින්ද සජීවී ගායනයන්හිදී (ඉතා සුලු මට්ටමේ) යම් ශෘති අස්ථාවර වීම් මම දැක ඇත්තෙමි. එසේ තිබියදී අවුරුදු 83ක් වන මෙම ගාන්ධර්වයාගේ අසමසම වූ ගායනය දැක මවිතයට පත් වීමි. ඔහු ශෘතිය කරා ගමන් කිරීම එතරම් සූක්ශමය. බොහෝ නවක ගායකයින්ට( ගායකයින් යයි කියා ගන්නා අය ) සජීවී ගායනය නොහැකිව රෙකෝඩින් වලින් පමණක් ජනතාව අතරට යන යුගයක ඔහු අමිල ආදර්ශයකි.
කොටින්ම කිව හැක්කේ "Perfect Pitching" කියාය.
         සජීවී ගායනයක නිරත විය නොහැකි නම් ඔහු ගායකයෙකු ලෙස සැලකිය නොහැක. රෙකෝඩින් රූම් එකක සිය වරක් පමන පටිගත කරමින් කෑලි අමුණමින් ගීතයක් නිපදවීමට අපටත් හැකිය. තවද සජීවී සන්දර්ශන වලදී පසුපසින් ගීතය ප්‍රතිවාදනය කරමින් බොරුවට කට හෙල්ලීම (මයිම් කිරීම ) අද ඉතා ජනප්‍රියය. අනෙකුත් කරුණු පසෙක තිබියදී අඩුම තරමේ විශ්වාසයෙන් යුතුව සජීවී ගායනයකවත් නිරත විය නොහැකි ගායකයෙකුගෙන් ඇති පලය කුමක්ද? මෙයින් පැවසෙන්නේ සියලු නවක ගායකයින් එසේ යයි කියා නොවේ. කසුන් කල්හාර, නිමන්ත හේශාන්, නදීක ගුරුගේ වැනි අති විශිෂ්ඨ ශිල්පීන් රෙකෝඩින් කොලිටියෙන්ම යුතුව සජීවී ගායනයෙහි සමත් බව මෙහි ලා සදහන් කල යුතුය. 
         අමරදේවයන්ගේ සන්නාලියනේ ගීතය අසන විට දැහැනට සම නොවදින ලාන්කිකයෙකු වෙතොත් ඔහු මානවයෙකු විය නොහැක.තන්හා ආශා ගීතය අසන විට දැහැනට සම නොවදින ලාන්කිකයෙකු වෙතොත් ඔහු මානවයෙකු විය නොහැක.පිලේ පැදුර ගීතය අසන විට දැහැනට සම නොවදින ලාන්කිකයෙකු වෙතොත් ඔහු මානවයෙකු විය නොහැක.සසර වසන තුරු ගීතය අසන විට දැහැනට සම නොවදින ලාන්කිකයෙකු වෙතොත් ඔහු මානවයෙකු විය නොහැක. ඔහුගේ ගායනය භාවයන් ජනිත කිරීම එතරම් පරිපූර්ණ නිසාය. ඔහුගේ තනු නිර්මාණය භාවයන් උද්දීපනය කිරීමෙහි ලා එතරම් සමත්කමක් දක්වන නිසාය.



මෙම බ්ලොග් සටහන අවසන් කිරීමට ප්‍රථම සුනිල් ආරියරත්නයන් ඔහු පිලිබදව කල සටහනක් මෙහි තැබීම වටී. 


"අප රටේ මහා ගද්‍ය රචකයන් බිහි විය හැකියි. ඒ විද්‍යා චක්‍රවර්තීලා ගුරුලු ගෝමීලා සිටි බැවිනි. මහා කවීන් බිහි විය හැකියි. තොටගමුවේ රාහුල හිමි, වෑත්තෑවේ විදාගම සිටි බැවිනි. මහා නරපතීන් බිහි විය හැකියි. දුටු ගැමුණු ලා පරාක්‍රම බාහුලා අපට සිටි බැවිනි. එහෙත් අපේ පොළවේ මහා සංගීතඥයින් පහල විය නොහැකියි. මන්ද විසිවන සියවස මුල් භාගය වන තුරුත් සංගීත නිර්මාණයක් තබා සංගීතඥ්යෙකුගේ නාම මාත්‍රයක්වත් අප වංශ කතාවේ සදහන් නොවන නිසාය. අමරදේවයන් විජයාගමනයේ පටන් මේ දක්වා ලංකා ඉතිහාසයේ පහල වූ විශිෂිඨතම සංගීතඥයා වන්නේ ඒ නිසයි."

No comments:

Post a Comment