Tuesday, November 6, 2012

මාක්ස්වාදය දෙස නැවත හැරී බැලීමක්.....




මාක්ස්වාදීන්ට පූර්ව වදනක්......

මාක්ස්වාදය යනු කෙටියෙන් ගත් කල පංති සටනේ හා ඒ හා බැදුනු නිශ්පාදන නිශ්පාදන සබදතා වල වර්ධනයේ හා ප්‍රගමනය පිලිබද ඉතිහාසයයේ ප්‍රවාදයයි. ( මෙය ප්‍රවාදයක් මිස නියමයක් නොවේ .)

පවත්නා සමාජ සබදතා තුල නිශ්පාදනය වර්ධනය කල නොහැකි වූ විට පංති ගැටුම උත්සන්න වී විප්ලවීය අවස්ථාවකට (යටත් පිරිසෙයින් සමාජවාදී විප්ලවය ගැන සැලකීමේදී ) පෙරලෙන බව ඔහු සදහන් කරයි. එහෙත් ඉතිහාසයේ කිසිදු තැනක එසේ වී නැත. රදල ප්‍රවේනිදාස ක්‍රමයෙන් ධනපති ක්‍රමය වෙත ඒමේදී එවැනි විප්ලවයක් සිදු නොවීය. ඔහු මෙහිදී විප්ලවයක් ගැන සදහන් කරන්නේ ධනපති අවස්තාවෙන් සමාජවාදී ක්‍රමය වෙත සංක්‍රමණය වීම සදහා පමණක් බවත් අනෙක් අවස්ථාවේදී හුදු සමාජ පරිණාමයක් ගැන අදහසක් සලකා පමණක් විප්ලවය යන වචනය භාවිතා කලේ යයි යම් කල්පිතයකට එලබිය හැක. (මමද එකල ඔය කල්පිතයේ එලබ සිටියෙමි ). එය එසේයයි සිතුවද ධනපති අවස්ථාවේ සිට සමාජවාදී අවස්ථාවට පරිණාමනයේදී පමණක් විප්ලවයක් නිසගයෙන් සිදු විය යුත්තේ මන්ද යන්න ට ඔහු පිලිගත හැකි පැහැදිලි පිලිතුරක් නොදෙයි. එය ඔහුගේ හුදු කල්පිතයක් පමණි. අනෙක් අතට මෙම විප්ලවය මාක්ස් කියන ආකාරයට (ලෙනින්මෙයට විරුද්ධ වේ ) කම්කරුවා තුල 'නිසගයෙන්' හට ගන්නා කම්කරු පංති විඥ්ඥානය තුලින් හට ගන්නා අතර  එවැන්නක් ලෝකයේ දක්නට නොමැත. එවැන්නක් කරා ගමන් කරන ආකාරයවත් දැකගන්නට නොහැක.

අනෙක් අතට වහල් හිමියා හා වහලා සිය විසංවාදය විසදාගත්තේ කෙසේදැයි අපි නොදනිමු. එයටද මාක්ස් අර පොදු කතාව කියනවා විනා පැහැදිලි ඉදිරිපත් කිරීමක් නොකරයි. අනෙක් අතට රදලයා හා ප්‍රවේණි දාසයා සිය විසංවාදය විසදාගැනීමේදී ඔය කියන ආකාරයේ ගුණාත්මක පිම්මක් (විප්ලවීය වෙනසක්) සිදු වූයේ පැන්නේ කොහේදිදැයි මම ප්‍රශ්න කරමි. ඒ වෙනුවට ඔහු තුන්වන පන්තියක් ( බර්ගර්වරු ) දේශපාලන බලය ලබාගත් බව පවසයි. මෙකී තුන්වන පන්තිය ඇති වන්නේ කෙසේද යන්න ගැන ඔහුගේ පැහැදිලි කිරීමක් නැත. තවද මෙකී තුන්වන පන්තිය ඇති වීමෙහි ලා යටකී මුල් පංති දෙකෙහි අරගලය බලපැවෙවයයි කිසි සේත් කිව නොහැක. මේ අනුව ඔහු විසින් සවිස්තරාත්මකව විස්තර කල එකම සමාජ පිම්ම ධනපති විප්ලවය වුවද එය සිදු වූ ඓතිහාසඉක නියමයද නියමාකාරයට සාධාරණීකරණය කිරීමට ඔහු සමත් නොවේ.

ඉතිහාසයේ කිසිදු තැනක සුරාකන්නන් පාලක පංතිය ( ඉහල සමාජ ස්ථරය )බවට පත් වී නොමැත. වී තිබෙන්නේ සූරා කැමටලක් වූ පංතිය මානව අයිතිවාසිකම් ප්‍රමුඛ කොට ගත් දෘශ්ඨියකින් වඩා හිතකර තත්වයකට පත් වීම පමණි. එසේ නම් මෙම ධනපති සීමාකාරී අවස්ථාවකදී පමණක් විප්ලවයක් සිදු විය යුත්තේ ඇයි?? වර්ථමාන ලෝකය විසින් ඉතිහාසය නැවත නැවත පුනරාවර්තනය කරමින් මොර දෙමින් කියාපාන සත්‍යයද එයයි. මෙය මාක්ස්ගේ හුදු කිසිදු පිලිගත හැකි සාධාරණ හේතුවකින් තොර වූ කල්පිතයක් පමණි.

 මාක්ස්ට අනුව කම්කරු පංති විඥ්ඥානය කම්කරුවා තුල ඇති වන්නේ නිසගයෙනි. නගරගත කර්මාන්තශාල වල විශාල වශයෙන් සංකේන්ද්‍රනය වීමත් මානව සබදතාවල වැඩි වීමත් හේතු කොට ගෙන කම්කරු විඥ්ඥානය අත්පත් කරගන්නා කම්කරුවෝ පංතියක් වශයෙන් සංවිධානය වී ධන්පති පන්තිය පෙරලා දමයි. මෙම කම්කරු පංති විඥ්ඥානය මාක්ස්ට අනුව පිටින් ඇතුලත් කර්න්නක් නොවේ. එය නිසගයෙන් ඇති වන දෙයකි. මෙම පිටින් විඥ්ඥානය එන්නත් කිරීමේ න්‍යාය ගෙනෙන්නේ ලෙනින්ය. ( එය අසාර්ථක බව ලොවමදනී ).එසේ නම් මාක්ස් නිවැරදිද?? මාක්ස්ට අනුව ධනපති පන්තිය හමුවේ එන්න එන්න දැඩි කාලකන්නි භාවයකට පත් වන කම්කරුවා පංති අරගලය තුලින් ධනපති පන්තිය පෙරලා දමයි.
මාක්ස් ට අනුව මුලින්ම විප්ලවය සිදු විය යුත්තේ ධනවත් රටවල් වලය.මන්ද  දනපති ක්‍රමයේ වර්ධනයත් සමග වඩ වඩාත් සූරා කැමට ලක් වන කම්කරුවා වඩ වඩාත් කාලකන්නි වීම තුලින් කම්කරු පංති විඥ්ඥානය නිසගයෙන් උපයා ගනී.


      මෙහිදී තේරුම් ගත යුතු කරුන වන්නේ කොටස් වෙලද පොල හෝ ගෝලීයකරණය තුලින් හෝ සිදුවන ධනවාදයේ හිතකර (යයි පෙනෙන ) පරිවර්තනය සිදුවන්නේ කිසි සේත් මාක්ස්වාදී න්‍යායන්ට අනුව නොවන බවයි. මාක්ස්වාදී න්‍යායන්ට අනුව එම පෙරලිය සිදු වන්නේ කම්කරුවා ගෝලීය නිශ්පාදනය හමුවේ තව දුරටත් කාලකන්නි භාවයට පත් වීමෙන් අවසානයේ කම්කරුවා තුල ඇති වන කම්කරු පංති විඥ්ඥානය තුලිනි.
        එහෙත් මෙම කියන ගෝලීයකරණය හා නිශ්පාදන ක්‍රියාවලිය ගෝලියකරණය වීමේ ක්‍රියාවලිය හරහා කම්කරු පංති විඥ්ඥානයක් ඇති වීම හුදු විහිලුවක් පමණි. මෙහිදී කම්කරුවා තුල ඇති වන්නේ සමාජවාදයකට මූල බීජයක් වන පංති විඥ්ඥානයක් නොවේ. ඔහුගේ මනස, සිතුවිලි හා අරමුණු පාලනය කරන්නේ බහු ජාතික සමාගම් හරහාය. ඔහුට කෘතිම අවශ්‍යතා ජනිත කරන්නේ බහු ජාතික සමාගම් විසිනි. නූතන කම්කරුවාගේ එකම සිහිනය සිය හාම්පුතා පදවන ආකාරයේ වාහනයක් පැදවීමය. ඔහුගේ ආකාරයේ පරිඝනකයක් මිලට ගැනීමය. එයිනුදු අතෘප්තිකර වන ඔහු ඔහුට කෘතිමව ජනනය කරනු ලැබූ සමහර විට කිසිදා ඉශ්ඨ කර ගැනීමට නොහැකි  ආශා ගුලක ගිලී කිමිදී සිටී,  ඔහු කිසි සේත්ම සියලු දෙනාට සර්ව සාධාරණ ආකාරයට සලකන සමාජවාදයක් හෝ කොමියුනිස්ට් වාදයක් ගැන සිහිනෙනුදු නොසිතයි. ඔහුට අවශ්‍ය මානව හිතවාදය කක්කුස්සි වලට විසි කර හෝ ධනපතියෙකු වීම පමණි. මාක්ස්වාදී න්‍යායන් වල සදහන් වන කම්කරු පංති විඥ්ඥානය පස්සා දොරින් පැනගොස් බොහෝ කල්ය. එය නැවත කම්කරුවා තුල ජනිත වන වායයි සිතීමට ද අපහසුය. මේ නිසා කෙසේ ගත්තද ලෝක ධනවාදය සිය හැඩතල මාරු කරන්නේ මාක්ස් කතා කල සමාජවාදය කරා යාමට නොවන බවනම් සක් සුදක් සේ පැහැදිලිය. එය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනත් සමාජ තත්වයකි. හුදකලා වූ අතෘප්තිකර, ව්‍යාජ මිනිසුන්ගේ රාජ්‍යයකි.

           ඒ අනුව මාක්ස් විසින් කිසිදු හේතුවකින් තොරව අත්තනෝමතික ලෙස සූත්‍රගත කල විප්ලවය ඔහුගේ කාල්පනික ලෝකය තුල පමණක් සිදුවන්නක් බවද පැහැදිලිය.




ලෙනින්වාදීන්ට වදනක්........

ලෙනින් මාක්ස්වාදියෙක්ද?? ඔහුගේ ප්‍රතිපත්ති තුල මාක්ස්වාදී ලක්ෂනනම් තිබෙන බව සැබැය. නමුත් යම් දර්ශනවාදයක  මූලික ප්‍රස්තුත හා කල්පිත උල්ලංඝනය කරන්නේ නම් ඔහු එම දර්ශනවාදයේ නියෝජිතයෙකු හෝ එකී දර්ශනවාදයම විස්තීරනය කරන්නෙකු ලෙස හැදින්වීම සාවද්‍ය හා විසංවාදී වේ. එවැනි ප්‍රයත්නයකින් එකී දර්ශනවාදයේ ප්‍රගමනික අවස්ථාවක් පිලිඹිබු නොවන අතර මේවා වියුක්ත සංකල්පීය දාර්ශනික විධි ක්‍රම බවට නිසගයෙන් ඛණ්ඩනය වේ.

මාක්ස්ට අනුව ධනපති පංතිය පෙරලීම සදහා අවශ්‍ය වන මූලික ආයුධය වන කම්කරු පංති විඥ්ඥානය කම්කරුවා තුල පහල වන්නේ නිසගයෙනි. පවත්නා සමාජ රාමුව තුල නිශ්පාදනය වර්ධනය කර ගත නොහැකි වූ විට නවසමාජ රාමුවකට පරිණාමය වන බව , නිශ්පාදනයේ හා පංති අරගලය තුල ඉතිහාස විග්‍රහයක නියැලෙන මාක්ස් පවසයි. මෙම සමාජ පරිණාමය තුල ධනපති අවස්ථාවේදී පමණක් අත්තනෝමතික ලෙස අරගලයක් ඔහු සාධාරණීකරණය කරන අතර එය ලෝකය තුල අනාගතයේදිවත් යථාර්ථයක් නොවන හුදු කල්පිතයක් පමණි. ( මේ පිලිබදව පැහැදිලි කිරීමක් මම 'මාක්ස්වාදීන් වෙත පූර්ව වදනක්.....' යන කොටසේ ඉදිරිපත් කොට ඇති අතර එය යථාර්ථයක් නොවන්නේ මන්ද යන්නත් මම එහි විග්‍රහ කොට ඇත්තෙමි ).

නමුත් ලෙනින්ට අනුව මෙම කම්කරු පංති විඥ්ඥානය කම්කරුවාට නිසගයෙන් ලබා ගත නොහැක. එය ඔහුට පිටින් එන්නත්කල යුතුය.( මේ ප්‍රකාශයෙන්ම ඔහු මාක්ස් ගේ ඓතිහාසික භෞතිකවාදී නියමයන්ට පිටු පායි. ඒ මන්ද යන්න පසුව සලකා බලමු.). මේ එන්නත් කිරීම කරන බුද්ධිමතුන් කුමන පංතියකට අයත් වන්නේද යන්න ලෙනින් පැහැදිලි විග්‍රහයක නියැලෙන්නේ නැත. ඔවුන් කිසි සේත් කම්කරුවන් නොවන බවනම් පැහැදිලිය. ඒ බව ලෙනින්ද සදහන් කොට ඇත. තවද එවිට එම න්‍යායට අනුව මෙම විඥ්ඥාන එන්නත් කිරීම සිදු වන්නේ කම්කරුවාට මිස කම්කරු පංතියට නොවේ. මන්ද කම්කරුවා පංතියක් බවට ඌණනය වන්නේ පංති විඥ්ඥානය ලැබීමෙන් පසුව වන නිසාය. 

කෙනෙකුට මීටත් වඩා මාක්ස් ගේ ඓතිහාසික භෞතිකවාදයට පිටුපා යා නොහැකිය. කම්කරු පංතියේ ඓතිහාසික කාර්යභාරයට මෙහිදී මරු පහරක් වදී. මන්ද ලෙනින්ට අනුව  කම්කරු පංති විඥ්ඥානය ඇතිවන්නේ හෝ පංති අරගලය සිදු වන්නේ නිශ්පාදන වර්ධන පදනමකින් ස්ව‍යං සිද්ධව නොව තුන් වන පාර්ශ්වයක බලහත් කාරී මැදිහත් වීමකිනි. එම තුන්වන පාර්ශ්වය කම්කරු පංතිය  නොවීමද මෙම මරු පහර මත්තේ ඓතිහාසික භෞතිකවාදයට තවත් මරු පහරක් එල්ල කරයි. නිශ්පාදන සබදතා හා පංති අරගලය ඒකාබද්ධකල ඓතිහාසීය භෞතික වාදයේ මූලික ප්‍රස්තුතයක් සමූල ඝාතනය කොට දමයි.
(ලෙනින්ගේ මෙම සංකල්ප සියල්ලම පුස්සක් වී ඇති බවට ඉතිහාසය සාක්ශි දරන බවද මෙහි ලා විශේශයෙන් සදහන් කල යුතුය )

තවද ලෙනින්ගේ සමාජවාදී පාලනය සමන්විත වන්නේ මාක්ස් ගේ කාල්පනික ලෝකය තුල මෙන් කම්කරුවන්ගෙන් නොව, කම්කරු හා ගොවීන් ගෙනි. එනම් කම්කරු නොවන තුන් වන පාර්ශවයක් මෙහි ලා ලෙනින් ඈදා ගෙන ඇත. ලෙනින්ට වැදගත් වන්නේ කම්කරුවන් නොව කම්කරු පංති විඥ්ඥානයයි. ඔහුගේ පක්ශය කම්කරු පක්ෂය නොව කම්කරු පංති විඥ්ඥානයේ පක්ෂය වන්නේ එබැවිනි. මෙකී සංකල්පය තුලින් ඔහු ධනේශ්වරය හා කම්කරු පංති අරගලයද එමගින් ඔහු මාක්ස් විසින් දක්වන ලද කම්කරුවාගේ ඓතිහාසීය කාර්යභාරයද කුණු කූඩයට විසි කර දමයි. මෙහිදී කම්කරුවා භාවිතා වන්නේ හුදු බලවේගයක් ලෙස පමණක් වන අතර සමාජ පරිණාම යාන්ත්‍රණයේ කකුල් දෙකෙන් එකක් ලෙස ඔවුන් නිරූපණය නොවේ.

එවිට ලෙනින් මාක්ස්ට වඩා නිවැරදිද?? කිසි සේත් ම නැත. ඉතිහාස්ය විසින් දරුණු ලෙස වැරදි බව ඔප්පු වූයේ මාක්ස් ට වඩා ලෙනින් ය. ලෙනින් කී ආකාරයේ ප්‍රබල කම්කරු පංති විඥ්ඥානයේ පක්ශයක් දියුණු රටවල ඇති නොවූයේ මන්ද? ? (අඩු දියුණු රටක බලෙන් ඇති කලද පලක් නැති බවත් ඇති වුවත් එයට ප්‍රගමනක් නොමැති බවත් ලෙනින් ඔප්පු කොට පෙන්වීය ). එවිට කිව හැක්කේ කම්කරුවන් තුල ඇති වන ඔරිජිනල් පංති විඥ්ඥානය මතු නොව ලෙනින් ගේ කම්කරු පංති විඥ්ඥානයේ පක්ෂය බිහි කිරීමද ඉතිහාසයේ කාර්ය භාරයක් නොවන බවය. එවන් පක්ශයක් ඇති කිරීම ඓතිහාසිය භෞතික වාදී නියමයන්ට පිටු පා යන අතරම, භෞතිකයෙන් විඥ්ඥානය ඇති නොවී විඥ්ඥානයෙන් භෞතිකය කරා යාමෙන්, ඓතිහාසීය භෞතිකවාදය මතු නොව දයලෙක්තික භෞතික වාදයද  කුජීත වන බවය.

ලෙනින් අනුමනය කල රාජ්‍ය සන්තක නිශ්පාදනය හා බෙදා හැරීමේ ආර්ථික න්‍යාය අසාර්ථක විය. එයට ඉක්මන් පිලියම විය යුතුව තිබුණේ යම් යම් ප්‍රතිපත්ති හා සීමාවන් තුල ආර්ථිකය වෙලද පොලට විවෘත කිරීමය. කොටින්ම කිවහොත් සීමාවක් ඇතිව ධනවාදී ලක්ෂණ ආර්ථිකයට ඇතුලත් කිරීමය. මන්ද රාජ්‍ය සන්තක නිශ්පාදනයක් තුල රට අභ්‍යන්තරික තරගයක් ඇති නොවන අතර තරගය හීන වූ විට නිශ්පාදන ගුණාත්මක භාවය පහල යයි. මෙය නොවැලැඛ්විය හැඛි ලෙසම සිදු වන්නකි. මෙය ලෝක සත්‍යයක් වන අතර සෝවියට් රුසියාව තුල සිදු වූයේ එයයි. (අවශ්‍යනම් සුදුසු මූලාශ්‍ර පරිශීලනය කොට බලන මෙන් ඉල්ලා සිටිමි ).
    ලෙනින්, ස්ටාලින් එල්බ සිටි මතය වූයේ ධනවාදයේ මුහුකුරා යාමකින් තොර අඩු දියුණු රටවලද සමාජවාදය බාහිර  ලෝකයෙන් ස්වාය්ත්තව ස්ථාපිත කල හැකි බවයි. මෙය කල හැකි විනිද?? එය සාර්ථක ලෙස ඉටු කලේ මොන රටද??
    අනෙක් අතට ලෙනින් කියන ආකාරයේ සමාජවාදයක් හෝ සමාජ තත්වයක් පැවතිය නොහැක්කේ ඇයි???
      ලෙනින්වාදය යනු සත්‍යවශයෙන්ම ආදායම හා නිශ්පාදනය සම ලෙස බෙදී යන සර්ව සාධාරණ වූ සමාජ තත්වයක් අරමුණු කොට ගත්තකි. මෙවැනි සමාජයකට ස්ථායී සමතුලිත තාවයක පැවතිය හැකිද? එවැනි සමාජයක් පෘතග්ජන මිනිසුන්ගෙන් සමන්විත රාජ්‍යයක පැවතිය නොහැක. මෙයට හේතුව මෙයයි.
      සමාජවාදය යනු බටහිර දර්ශනයකි. අතිශය ද්‍රව්‍යවාදී පදනමක ගොඩ නැගෙන මාක්ස්වාදය මිනිසාගේ මනසට, විඥ්ඥානයේ පවතින වැදගත් කමට කිසිදු අවධානයක් යොමු නොකරයි. මාක්ස්ට හා ලෙනින්ට වරදින්නේ මෙතනදීය. ලෙනින් සිය අයිඩියල් සමාජය දිනා ගැණීමට යන්නේ සම්පූර්ණ  භෞතික ක්‍රියාවලියකිනි. මෙහිදී මිනිසුන් සියලු දෙනා සමානයින් සේ දකින සහෝදරත්වයේ බැම්මෙන් බැදී ගිය උත්කෘෂ්ඨ වූ ශ්‍රේශ්ඨ වූ මිනිසුන් සමූහයක් නිර්මාණය කිරීමට ඔහු සිහින දකියි. මිනිසුන්ගේ මමත්වය, ආත්මාර්ථකාමීත්වය, පරිභෝජනවාදී පෘතග්ජන සිතුවිලි තිබෙන තාක් එවැන්නක් ගැන සිහින මැවිය හැකිද? එසේනම් එවැනි විඥ්ඥානයික සිතුවිලි දාමයක් භෞතික ක්‍රියාදාමයක් මගින් නවත්වාලිය හැකිද? බටහිර චින්තනයන් තුල හැදුනු වැඩුනු ලෙනින් එසේ සිතුවාට සැක නැත. සටනක් දිනූ විගස ජයග්‍රාහී පක්ශය සහෝදරත්වයේ බැම්මෙන් බැදීම ස්වභාවිකය. එහෙත් එය ඉතා කෙටි කාලීනය. කල් ඉකුත් වී හෝ මමත්වය නිහීන නොකල මිනිසුන්ගේ මමත්වය ඉස්මතු වේ. පොදු ජනයාගේ සිට ඉහල නිලධාරියා දක්වා බලපාන ලෝක සත්‍යය මෙයයි. සිය නිලධාරී බලතල භාවිතාකොට සිය ලිංගිකත්වයේ සිට සෑම අවශ්‍යතාව්යාක්ම සපුරා ගැනීමට ඔවුන් පෙලබේ. නිලධාරීවාදයක් ඉස්මතු වී ලෙනින්ගේ සමාජවාදී රාජ්‍යය බිද වැටෙන්නේ එවිටය.
         බුද්ධ දර්ශනය ගැඹුරු ලෙස අධ්‍යනය කල හේගල් ගෙන් දයලෙක්තික සංකල්ප පමණක් උකහා නොගෙන මනස ප්‍රමුඛ කරගත් ගැඹුරු සංකල්ප අධ්‍යනය කලානම් මාක්ස්ට හෝ ලෙනින්ට මෙවැනි ඇබැද්දියක් සිදු නොවේ. බුදුන් වහන්සේ දේශනා කලේ මෙම පරම සත්‍යය. බුද්ධ දර්ශනය යනු සමාජ කේන්ද්‍රීය දර්ශනයක් නොවේ. එය පුද්ගල කේන්ද්‍රීය දර්ශනයකි. මිනිසා විදර්ශනාව තුලින් සිය මමත්වය නැති කොට ක්ලේශයන් ප්‍රහීන කොට උතුම් වූ නිර්වාණය ලගා කරගනීමේ මාර්ගය බුදු පියාණන් වහන්සේ දේශනා කලහ. මේ ටිකවත් හේගල් ගෙන් ගත්තානම් භෞතික ක්‍රියාදාමයන් තුලින් මමත්වය නැති කල නොහැකි බව ලෙනින්ට අවබෝධ වන්නට ඉඩ තිබිනි.
     අවසන් වශයෙන් ගත් කල ලෙනින් මාක්ස්වාදයටද න්‍යායාත්මකව විරුද්ධ වන අතර එකී මාක්ස්වාදයෙන් විඛන්ඩණය වීම තුලද නිවැරදි න්‍යායක් අනුගමනය නොකල බව පැහැදිලිව වටහා ගත හැක.



නැවතත් මාක්ස්වාදය වෙත.....

            මාක්ස්වාදය ලෝකෝත්තර දර්ශනයක් නොවේ. එය එකල පැවති යුරෝපීය විද්‍යාත්මක සොයාගැනීම වල නව පුනරුදයක් සමග බිහිවූ හුදු පෘතග්ජන දර්ශනවාදයක් පමණි. මාක්ස්වාදයේ ප්‍රධාන අවිය මෙන්ම මාක්ස් හා එන්ගල්ස් ඉතා ඉහලින් අගය කල ඩාවින්ගේ පරිණාමවාදී අනාවරණය මෙහි ලා ඉතා විශාල කාර්ය භාරයක් ඉටු කරයි. මාක්ස්වාදී න්‍යායන් වල සදහන් විඥ්ඥානයික වර්ධනයේ පැහැදිලි කිරීම් වල සිට දයලෙක්තික සංකල්ප බිහි කිරීමේ සිට ගුණ පරිමාණ නියම සූත්‍ර ගත කිරීම දක්වා ඩාවින්වාදයේ ආභාශය දක්නට ලැබේ. එහෙත් මෙම විද්‍යාත්මක සංකල්ප පවා මාක්ස් හා එන්ගල්ස් ඔවුනට ඕනෑ ආකාරයට වෙනස් කිරීමට පසුබට වූයේ නොවේ. 
            ටෝමස් මැල්තුයිස් හා එක්වූ ඩාවින් පසු කලෙක ඩාවින්-සමාජවාදය යන සංකල්පයක් වෙනුවෙන් පෙනී සිටියේය.එයින් අදහස් කෙරුනේ සමාජයටද ස්වභාවික වරණය බලපාන බවයි. එනම් මිනිසාගේ වර්ධනයට සාපේක්ශව නිශ්පාදන බලවේග වර්ධනය නොවන නිසා ස්වභාවික වරණය තුලින් ධනපතියන්ගේ වැජඹීම සාධාරනීකරණය කරනු ලැබීය. ( මෙයට ධනපති පන්තියේ අනුග්‍රහය ටෝමස් මැල්තුයිස්ට නොමදව ලැබෙන්නට ඇති බවට මගේ පෞද්ගලික මතයයි ). ඩාවින් වදය ඇසුරෙන් සියල්ල ගොඩ නගනා මාක්ස්, ස්වභාවධර්මයේ නියමයන් එලෙසම සමාජ ප්‍රපංච වලටද බලපාන බව පවසන එන්ගල්ස්, මෙම කරුන පමණක් නොසලකා හරිමින් මිනිසාගේ සවිඥ්ඥානක තත්වය මෙහිදී එබදු ස්වභාවික වරණයක්ට ඉඩ නොතබන බව පවසයි. මෙම කරුණේදී ඔවුන් එතරම් වැරදි නැති වුවද මෙම සවිඥ්ඥානක තත්වය මාක්ස්වාදය තුල අනෙකුත් බොහෝ න්‍යායන් වලටද අඩංගු කලේ නම් එය වඩා නිරවද්‍ය දර්ශනයක් කර ගැනීමට ඉඩ තිබිනි.
     

ද්‍රව්‍යයද??? විඥ්ඥානයද????
              
             මාක්ස්වාදයේ සදහන් වන ද්‍රව්‍යයේ ප්‍රමුඛතාවය පැහැදිලි ලෙසම බුද්ධ දර්ශනයේ සදහන් විඥ්ඥානයේ ප්‍රමුඛතාවයට වෙනස් වේ. විද්‍යාවේ දියුණුවත් සමග විඥ්ඥානය යම් කිසි භෞතිකයකට ඌණනය වන්නේ යයි අදහසක් පැවතුනද එය කිසි සේත්ම විය හැක්කක්ද යන ගැටලුව පවතී. 
             ප්‍රධානම දෙය නම් විඥ්ඥානය යන්නෙන් අදහස් කරන දේ කුමක් ද යන්නය. බටහිර දර්ශනවාදයන් හෝ ඒ මත පදනම් වූ විද්‍යාවන් විඥ්ඥානය යනුවෙන් අදහස් කරන්නේ කිසිසේත් ම වෛදික දර්ශනයන් හෝ බුද්ධ දර්ශනය විඥ්ඥානය යනුවෙන් අදහස් කරන දෙය නොවේ.  
              බටහිර දර්ශනවාදයන්හි ( හා විද්‍යාවෙහි ) විඥ්ඥානය යනුවෙන් ප්‍රධාන කොට අදහස් වෙන්නෙ මනසෙහි ක්‍රියාකාරිත්වය, සිතුවිලි හා සංකල්ප ජනිත වීමය. මේ පිලිබද ඔවුන්ගේ ප්‍රධාන දර්ශනවාදයන් සියල්ලක්ම පාහේ අනුභූතිවාදී ස්ථාවරයක් දරයි. ඉතා කෙටි හා අසම්පුර්ණ පැහැදිලි කිරීමක් කරන්නේ නම්, ඔවුනට අනුව උපදින විට පුද්ගල මනස හිස් පුවරුවකි( මෙය Tabula rasa ලෙස හදුන්වයි ). උපදින විට දෑණුමක් නෑති පුද්ගලයා ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂය හරහා දෑණුම ලබා ගන්නා අතර බුද්ධියට ක්‍රියාත්මක විය හෑක්කේ ඉන් පසුවයි. ( ජෝන් ලොක්, ඩේවිඩ් හ්‍යුම් හා ප්‍රධාන වශයෙන් කාල් මාක්ස් ගේ දයලෙක්තික භෞතික වාදී විග්‍රහය අධ්‍යනය කරන්න). මෙම සංකල්ප මත පදනම් වූ බටහිර විද්‍යාවද විඥ්ඥානය යනුවෙන් අදහස් කරන්නෙ මෙවෑනි සංකල්ප රෑසකි. කිසිදු දෑනුම් පද්ධතියක් එය බිහිවූ සංස්කෘතියෙන් හෝ දේශයෙන් ස්වායත්ත නොවේ. රෙනේ ඩේකාර්ට් වෑනි ප්‍රංශ බුද්ධිමතුන් විඥ්ඥානය පිලිබදව වෙනත් ම අදහස් දෑරුවද ඒවා බටහිර ප්‍රධාන සංකල්ප ධාරවත් සමග සංගත නෑති නිසා පෑවෑත්මක් නොවිය.
              බුද්ධ දරශනයේ සදහන් විඥ්ඥානය කිසිසේත්ම මෙබන්දක් නොවේ. එසේම එය කිසිදු තත්වයක් හෝ විද්‍යාත්මක සොයාගැනීමක් හමුවේ බටහිර දර්ශනයන්හි සදහන් විඥ්ඥානයට ඌණනය වන්නක් ද නොවේ. එය ඉතා පැහැදිලිය. මන්ද පැහැදිලිවම මෙම සංකල්ප දෙක එකිනෙකින් වියුක්ත හා ස්වායත්ත සංකල්ප වන බැවිනි. 

                  විශේෂයෙන්ම කුමන තත්වයක් යටතේ හෝ මාක්ස්වාදී න්‍යායන් හී සදහන් "ද්‍රව්‍යයෙන් විඥ්ඥානය ආරම්භ වීම", බුද්ධ දර්ශනයේ සදහන් "විඥ්ඥානයෙන් ද්‍රව්‍යය විකාශනය වීම" ටනම් කිසි සේත් ම ඌණනය කල නොහැක. එය තරම්ම වෙනස් දැණුම් පද්ධතීන් දෙකක් මත නිර්මාණය වූ එකිනෙකින් ස්වායත්ත සංකල්ප දෙකකි.  මේ මන්දැයි විමසුමට ලක් කිරීමට හා ලිපියේ ප්‍රධාන අරමුණ මාක්ස්වාදී න්‍යායන් නැවත විමසුමකට ලක් කිරීම නිසා, මම මාක්ස් ගේ විඥ්ඥානය කෙබන්දක් ද යන්න ඉතා කෙටියෙන් විග්‍රහ කිරීමට කැමැත්තෙමි. 

                    මාක්ස්වාදයට අනුව සත්වයින්ට විඥ්ඥානයක් නැත. එය පරම ලෙසත් අවසාන ලෙසත් මානවයා තුල ක්‍රියාත්මක වන ප්‍රපංචයක් පමණි. කෙටියෙන් කිවහොත් පරිසර වෙනස් වීම් වලට ප්‍රතික්‍රියා දක්වන, සාපේක්ශව දියුණු තලයක සිදුවන ක්‍රියාදාමයක් පමණි. සත්වයා පරිසර වෙනස් වීම් වලට දක්වන ප්‍රතිචාරයන් ( පරාවර්තනයන්) හුදු සහජ හා ප්‍රතීකයන් පමණක් වන අතර විඥ්ඥානයේ කිසිදු බලපෑමක් එයට නැත. වෙනත් ආකාරයකට කිවහොත් "විඥ්ඥානය තනිකරම හා උසස්තම මිනිසාගේ පරාවර්තන ස්වරූපයයි. එය බිහි වූයේ මිනිසා හා මිනිස් සමාජය බිහි වීමත් සමගය. එසේම එයට එම සමාජයෙන් පරිබාහිරව පැවතීමට ද නොහැක." (දයලෙක්තික භෞතිකවාදය. වී ක්‍රපීවීන් ).

                     මෙම සංකල්පය පැහැදිලි කිරීමට කුඩා උදාහරණයක් ගනිමු.අතීතයේ සිදුවූ මහා පාරිසරික හා දේශගුණික වෙනස් වීම් වලට අනුවර්තනය වීමට නොහැකි වූ සත්ව කොට්ඨාශ විනාශයට ලක් වූහ. නමුත් මානව කල්පික වානරයා එසේ නොවීය. ගස් වලින් බිමට බට ඔවුහු නව ආහාර සොයා ගැණීමේ ක්‍රමවේදයකට බටහ. නමුත් තවමත් ඔවුන් තුල විඥ්ඥානය වර්ධනය වී නැත. පසුව පොලු මුගුරු හා තනාගත් ආයුධ ඇසුරෙන් දඩයමේ යෙදීම ඔවුහු ආරම්භ කලහ. කොටින්ම පරිසර නීති වලට අනුකූල නොවී පරිසරය වෙනස් කිරීමේ ක්‍රියා පටිපාටිය ආරම්භ කලහ. ඔවුන් තුල විඥ්ඥානය හට ගැණීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ එවිටයි. වෙනත් අයුරකින් කිවහොත් පරිසර ක්‍රියාදාමයන් පරාවර්තනය කිරීමේ ක්‍රියාදාමය හුදු සහජයන් හා ප්‍රතීකයන් අභිභවමින් විඥ්ඥානයික ක්‍රියාවලියක් දක්වා වර්ධනය වන්නේ එවිටයි.

            "මේ අනුව විඥ්ඥානය බිහි වූයේ නිශ්පාදනයේ හා සමස්තයක් වශයෙන් ස්මාජ ජීවිතයේ අවශ්‍යතා වලිනි. සමාජයෙන් හා සමාජ සබදතා වලින් පරිබාහිරව විඥ්ඥානයට කිසි දිනෙක මතු වී ඒමට හෝ පැවතීමට නොහැක. ආරම්භයේ සිට අවසානය දක්වාම එය සමාජීය නිෂ්පාදිතයකි. ශ්‍රමයේ හා ඒකාබද්ධ මිනිස් ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයකි." (දයලෙක්තික භෞතිකවාදය. වී ක්‍රපීවීන් ).

               මෙම ද්‍රව්‍යවාදී සංකල්පය හා පෙරදිග දර්ශනයන් හි අඩංගු වන "විඥ්ඥානය තුලින් ද්‍රව්‍යය හට ගැනීම" ඒකාත්මික වන්නේ යයි සිතීම පවා කෙතරම් නිෂ්ඵල ක්‍රියාවක් දැයි මදකට සිතා බලන්න. ඒවා ඒකාත්මික කල නොහැක්කේ ඒවා එකම රේඛාවක නොපිහිටන සංකල්ප වන නිසාය. එකම රේඛාවකට ලං කිරීමටවත් නොහැකි සංකල්ප නිසාය.

               ප්‍රධාන වශයෙන් ගත් කල මාක්ස්වාදයේ අපෙන් වාස්තවික ලෝකයක් ගැන සදහන් කරයි. එහි සියලු න්‍යායන් සූත්‍ර ගත වන්නේ මෙම පදනම මතය. නමුත් අප මෙම ලෝකය නිර්මාණය කොට ගන්නේ අපේ පන්චේන්ද්‍රියන් තුලිනි. 

               එසේම එය සමාජීය කාරණාවලට මෙන්ම පෞද්ගලිකව මිනිස් විඥ්ඥානය බිහි වීම සදහා ද වල්ංගුය. අලුත උපන් ලදරුවෙකු විඥ්ඥානය රහිත සත්වයෙකි. ඔහු විඥ්ඥානය ලස්බා ගන්නේ ක්‍රමක්‍රමයෙනි. අනෙක් මිනිසුන් සමග සබදතාව්යාක් රහිතව වැඩෙන ලදරුවෙකු තුල කිසිදා විඥ්ඥානයක් වර්ධනය නොවේ. එනම් "මිනිසා හා මිනිස් විඥ්ඥානය හැඩගැසීමේ පූර්ව කොන්දේසියක් වශයෙන් සිය මුල්ම වකවානුවේ සිටම යම් පුද්ගලයෙකු සමාජ ජීවිතයට සම්බන්ධ විය යුතුවේ". ( දයලෙක්තික භෞතිකවාදය යනු කුමක් ද? වී. ක්‍රපීවීන්). 

               එමෙන්ම මාක්ස්වාදී විඥ්ඥානයට භාෂාවෙන් තොරව පැවතිය නොහැක. "භාශාව විඥ්ඥානය තරම්ම පැරණිය. භාෂාව ප්‍රායෝගිකය. එය අනෙක් මිනිසුන් සදහාද පවත්නා වූ සැබෑවිඥ්ඥානයයි. විඥ්ඥානය මෙන්ම භාෂාව පැන නගින්නේ අනෙක් මිනිසුන් සමග ඇසුරු කිරීමේ වුවමනාවෙන් හා අවශ්‍යතාවයෙන් පමණි." (කාල් මාක්ස්, ප්‍රෙඩ්‍රික් එන්ගල්ස්. එකතු කල කෘති. 5 වෙලුම )


                     කෙටියෙන් කිවහොත් මාක්ස් කිසි වෙටෙකත් පෙරදිග දර්ශනයන්හි සදහන් වන ආකාරයේ විඥ්ඥානයක් ගැන කිසි විටෙකත් කතා කොට නැත. බුද්ධ දර්ශනයේ සදහන් වන විඥ්ඥානය ඊට අතිශයින්ම ගැඹුරු මෙන්ම හාත්පසින්ම වෙනස් සංකල්පයකි. බුදුන් වහන්සේ විඥ්ඥානයෙන් ද්‍රව්‍යය හට ගන්නවායයි කීවේ එයටය.මාක්ස් කිසි විටෙකත් සිය න්‍යායන් තුල එම විඥ්ඥානයට කිසිදු වැදගත් කමක් දුන්නේ ද නැත. සත්‍ය වශයෙන්ම මාක්ස් කරගන්නා ලොකුම වැරැද්දත් මෙයමය. (මේ පිලිබද විග්‍රහයක් "ලෙනින් වාදීන්ට වදනක්" යන කොටසේ මා විසින් අන්තර් ගත කොට ඇත.) ඔහු කතා කරන "ද්‍රව්‍යයෙන් විඥ්ඥානය හට ගැණීම" වෙනමම කතාවකි. එය කිසි දිනෙක කිසිම ආකාරයේ බටහිර විද්‍යාත්මක සොයාගැණීමක් යටතේ වුවද පෙරදිග දර්ශනයන්හි සදහන් "විඥ්ඥානයෙන් ද්‍රව්‍යය හට ගැනීමේ" සංකල්පයට ඌණනය කල නොහැකිය. එවා තනිකරම එකිනෙකින් ස්වායත්ත සංකල්ප වේ. වෙනත් දැණුම් පද්ධති දෙකක් යටතේ නිර්මාණය වූ සංකල්ප වේ. කිසි දිනෙක සමපාත වන්නක් ද නොවේ.



සමාජවාදය අයිඩියල් ද?

              සමාජවාදය යනු කුමන ආකාරයේ සමාජයක් ද?  මේ ගැණ මදක් අවසාන වශයෙන් විමසා බැලීම වටී.  
              මාක්ස් සකල මානව ඉතිහාසය මෙන්ම මානව සමාජ පරිණාමයද එහි අනාගතයද පංති සටනේ හා ඒ හා බැදුනු නිශ්පාදන ක්‍රියාවලියකට ඌණනය කරයි. බටහිර සංකල්ප මත ගොඩ නැගුනු මාක්ස්වාදය නිශ්පාදනයට හා පර්භෝජනයට සියල්ල ඌණනය කරමින් මානව දයාව, කරුණාව, මෛත්‍රිය වැනි උත්කෘශ්ඨ මානව ගුණාංග නොසලකා හැරීම එක් අතකින් පුදුමයක් නොවේ. 
 සැබැවින්ම මාක්ස් හා ලෙනින් දකින සමාජවාදී හෝ එතනිනුත් ඔබ්බට කොමියුනිස්ට් සමාජය කෙබන්දක් ද? එය නිශ්පාදනය හා ආදායම සමසේ බෙදී යන සමාජයකි. එපමණකි. සැබැවින්ම එහි හරය එපමණකි. මාක්ස් හා එන්ගල්ස් පරිපූර්ණ සමාජ තත්වයක් ලෙස දකින්නේ එබන්දකි. මෙය කෙතරම් අවපූර්ණද? මෙම සමාජය තුල මානව දයාවට හා මෛත්‍රියට ඇති ඉඩකඩ කවරේද? සැබෑ විඥ්ඥානයට හා මමත්වය කෙරෙහි අවධානයක් යොමු නොකල මාක්ස්වාදී න්‍යායන්, භෞතික ක්‍රියාවලියකින් මමත්වය නැති කිරීමට යන වෑයම කෙතරම් සාර්ථකද? ( මේ පිලිබද තරමක් දීර්ඝ විග්‍රහයක් ලෙනින් වාදීන්ට වදනක් යන කොටසේ මා විසින් කොට ඇත. )
   පවත්නා ලෝකය ගමන් කරන දිශාව කිසිසේත් සහෝදරත්වයේ බැම්මෙන් බැදී ගිය අයිඩියල් සමාජවාදී තත්වයක් නම් නොවේ. එහි නිශ්පාදනය හා ආදායම යම් පමණකට සමසේ බෙදී යාම නම් දක්නට ඇත. එය මිනිසුන් එකිනෙකා පරයමින් අන්ධ ලෙස ගමනේ දුවන හෙම්බත් හා අතෘප්තිකර ව්‍යාජ මිනිසුන්ගේ රාජ්‍යයක් පමණි. උත්කෘශ්ඨ වූ මානව ගුණාංග වලින් හෙබි සංස්කෘතියකින් යුක්ත පෙරදිග අපි අන්ධ ලෙස එවන්නක් තව දුරටත් අයිඩියල් සමාජයක් ලෙස වන්දනාමාන කිරීම කල යුතුද?

             මෙම සමාජයේ යම් කිසි සිස්ටමැටික් බවක් නම් දැකිය හැකි වනු ඇත. නමුත් සිස්ටමැටික් බව යනු මානුශීය බව නොවේ. උදාහරණයක් ලෙස දියුණු රටවල වයසක පුද්ගලයින් බස් රථයට නැංවීම සදහා වෙනම නිලධාරියෙකු සිටින බව වරක් කෙනෙකු මා සමග උජාරුවෙන් පැවසීය. මට අසන්නට ඇත්තේ ඔබලා එතරම්ම 'චාටර් ද?' යනුවෙන් පමණි. අපේ රටේ වයසක මනුස්සයෙකු බස් රථයට නගින්නට බලා සිටියොත් ඔහු පෙරලාගෙන නගින කෙනෙක් වෙතොත් ඒ ඉතා කලාතුරකිනි. දුර ගමන් සේවා බස් රථයක වයසක මනුස්සයෙකුට තබා කාන්තාවකට වුවද වැඩි වේලා නැගිටගෙන යාමට සිදු වන්නේ නැත. බඩ දරු අම්මා කෙනෙකුට හෝල්ට් එකකට වඩා සිටගෙන යාමට සිදු වන්නේ නැත. වර්තමානයේ මෙම උතුම් ගති ලක්ශන තරමකට හෝ මිනිසුන් තුලින් පිරිහෙනවානම් පිරිහී ඇත්තේ අප රට ගෝලීය බලපෑම් හමුවේ කෙමෙන් භාජනය වෙමින් පවතින අධි පරිභෝජනවාදී හා ආත්මාර්ථකාමී ජීවන රටාවන් සමාජය කෙමෙන් ආක්‍රමණය කිරීමෙන් මිස මිනිසුන්ගේ වරදින් නොවේ. 
                      මෙවන් ආර්ථික ක්‍රමයක්, සමාජයක් තුල සෑම දෙයකටම මිලක් නියම වේ. එහි  මිනිසෙකුගේ පැ‍යක් ඩොලර් ගනණකට ඌණනය කල හැක. මහලු මිනිසා බස් රථයට නංවන මිනිසා එය කරන්නේ සිය ඩොලර් කිහිපය උපයා ගැනීමට මිස සැබෑ මානව අනුකම්පාවකින් නොවේ. එහි මානුශීය බවක් ගැබ් වී නොමැත. යම් ක්‍රියාවලියක් කෘථිමයෙන් සමාජයට ආරෝපණය කිරීමට අවශ්‍ය වන්නේ එය ස්වභාවයෙන් සිදු නොවන විටය. උතුම් බෞද්ධ සංස්කෘතියකින් හෙබි අපට එවැන්නක් අවශ්‍ය නැත. බටහිර රටවල මෙන්  දරුවන් නැලවීමේ පංති, සීයලා ආච්චිලා නැන්දලා මාමලා එකට එක් වන මානව සබදතා වලින් අග තැණ්පත් සමාජයක් හිමි අපට අවශ්‍ය නැත. පවත්නා ලෝක ට්‍රෙන්ඩ් එක ඉතා යහපත් යයි හා එයින් සමාජවාදය කරා එලබියහොත් ඉතා යහපත් යයි ප්‍රීති වෙමින් සිටියහොත් අපටද මානුශීය වටිනාකම් ඩොලර් වලට ලඝු කරන මානුශීය බවින් තොර සිස්ටමැටික් (සමාජවාදී) සමාජයක් බිහි වීම වැලැක්විය නොහැක.

                අපට අවශ්‍ය එබන්දක්ද? නැතිනම් සමාජවාදයේ මුලාව වටහාගෙන මානුශීය ගුණාංග සපිරි,පරිසරය, සොබාදහම සමග මිනිසාගේ ජාලගත පැවැත්ම අවධාරණය කෙරෙන, අධිපරිභෝජනයෙන් මිදුනු, නිර්වාණය සමග සංගත වූ හර පද්ධතීන්ගෙන් සමන්විත සමාජ අර්ථ ක්‍රමයක් බිහි කිරීමේ අවශ්‍යතාවය වටහා ගනිමුද?





            
               








   









Saturday, February 4, 2012

නිදහස යනු....

මනුෂ්‍යයන් වන අප සියල්ල මනසින් නිර්මාණය කරන්නෝ වම්හ. ගති සිරිත්, ආචාර විධි, සදාචාරාත්මක ආකෘති, උස්පහත් භේද, දැනුම යන මේ සියල්ල අපගේ නිර්මාණ වේ. අපගේ සම්මුතීන් වේ. එසේ නිර්මාණය කරගත් සම්මුතීන් තුලින් අපි ලෝකය දකින්නෙමු. මෙම ආකෘති දේශයට, කාලයට සාපේක්ශ වන අතර එක් එක් ආකෘතීන් අතර පොදු සම්මතයන් මෙන්ම වෙනස්කම්ද ඇත. අපගේ සංස්කෘතිය බුද්ධ දර්ශනයෙන් ආභාශය ලැබූ අතර නිර්වාණය අවසානය පරමාර්ථ කොටගත් සදාචාරාත්මක ආකෘතියක් අප ගොඩ නගාගෙන ඇත්තෙමු.(නමුත් සිංහල සංස්කෘතිය යනු බුද්ධ දර්ශනයෙන් අභාශය ලැබූවක් මිස බුද්ධ දර්ශනය නොවන බවද එහි ද පිළිකෙව් කල යුතු දුර්වලතා පවතින බවද අවධාරණය කල යුතුය.)
ඉන්දියානුවන් ගේ සදාචාරාත්මක ආකෘතිය බ්‍රහ්මන් එල්ල කොටගත් එකක් වන අතර බටහිරයන්ගේ එය ස්වර්ගය ඉලක්ක කොට ගත් එකක් වෙයි. මෙම සදාචාර පද්ධති කාලයාගේ ඇවෑමෙන් නීති පද්ධති බවට පරිවර්තනය වන අතර අප සිත් තුල යථාර්ථයක් ලෙස මුල් බැස ගනී. ලෞකික සැපත හා ස්වර්ගය තුල ලෝකෝත්තර සැපත අරමුණු කොට ගත් බටහිර සදාචාරාත්මක හා නීති පද්ධතිය සමග ගණිකා නිවාස හෝ වයෝවුර්ධ දෙමාපියන් පෝශණය නොකිරීම සංගත වන්නේද ( එතරම් අවුලක් නොවන්නේද ) සිංහල හෝ දමිළ සංස්කෘතිය තුල එය සංගත නොවන්නේද එම නිසාය. තවද දමිළ සංස්කෘතිය හා සදාචාරාත්මක පද්ධතිය තුල හින්දු ආගමේ බලපෑමද සමග සත්ව පූජාව සංගත වන්නේද සිංහල සංස්කෘතිය තුල එය සංගත නොවන්නේද එම නිසාය.


බටහිර අධිරාජ්‍යවාදය සමග සිදු වූ සංස්කෘතික ඝට්ඨනය ද සමග මෙම සදාචාර පද්ධතීන්ගේ මුසුවීමක් සිදු විය. ඔවුන් විසින් අපට කෘතිමව ඇති කොට ගිය අපගේ දේශයට, දේශගුණයට හෝ ආගම සමග සංගත නොවන්නා වූ ආචාර විධි හා සංස්කෘතික රාමූන් තුල අප තවමත් චින්තන වහලුන් වී ඇත්තෙමු. එම නිර්ණායක තුලින් උසස් පහත් භේද මනින්නෝ වෙමු. එම රාමූන් පරම සත්‍යයන් යයි ද එතුලින් ලෝකය නිර්වචනය වන්නේ යයිද සිතන්නෙමු.
උදාහරණයක් ලෙස හැදි ගෑරුප්පුවෙන් කෑම අපගේ දේශගුණය සමග කොතරම් අසංගත වුවත් කන්නා හා නොකන්නා අප මනසින් වර්ගීකරණය කරන්නෙමු. කලිසම හා සරම මනසින් වර්ගීකරණය කරන්නෙමු. පොශ් කඩයකට ගොස් කඩ්ඩෙන් කෑම ඉල්ලන්නා හා සිංහලෙන් ඉල්ලන්නා වර්ගීකරණය කරන්නෙමු. අවිඥ්ඥානවකවම අප විදෙස් චින්තනයක වහලුන් වී ඇත්තෙමු.
අතෙන් කෑම හැන්දට වඩා උසස් වන්නේ කෙසේද? මේ සියල්ලම අප මනසින් තනා ගත් සීමාවන් වේ. අප විසින් කල යුත්තේ අපගේ දේශයට හා ආර්ය අශ්ඨාංගික මාර්ගය සමග සංගත වන ආචාර ධර්ම පද්ධතියක් තනා ගැනීම හා එතුලින් ලෝකය දැකීමට මානසික පරිවර්තනයක් ඇති කර ගැනීමය. එසේ නැතිව බොරුවට නිදහස් උලෙලක් තිබ්බාට කොඩියක් වාහනේ ගසා ගත්තාට අප නිවහල් ජාතියක් වන්නේ නම් නැත. ලොව කිසිදු ආචාර ධර්ම, සංස්කෘතියකට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ චින්තනයක් අපට උරුම බවත් අප ලෝකය දැකිය යුත්තේ එතුලින් බවත් යළි සිහියට නගා ගැනීමට කාලය එලඹ ඇත.

Friday, February 3, 2012

ලිං ගැට්ටෙන් අහස බැලීම....

  මට Economics යන්නට අන්තර්ජාලයේ දුටු අර්ථ දෑක්වීමක් නිසා මෙය ලිවීමට සිත් විය. එහි ආර්ථික විද්යාවේ අර්ථ දෑක්වීම ලෙස 'ආර්ථික විද්‍යාව යනු මිනිසාගේ අසීමිත අවශ්‍යතාවයන් සැපිරීමට සීමිත සම්පත් යොදා ගන්නේ කෙසේද' යනුවෙන් සදහන් වෙයි. තවත් විවිධ නිර්වචනයන් තිබුණද ඒ සියල්ලගේම මූලික හා මුඛ්ය හරය මෙය විය. මෙය කොහෙන් ආ කවුරු කී මගුලක් දැයි නැවත පොඩ්ඩක් සිතා බැලිය යුතුය. 



කොහෙන් ආවත් අම්බානකට බ්‍රේන් වොශ් වී ඇති අපේ අන්තර් විඥ්ඥානයන් විසින් මෙබදු අර්ථ දැක්වීම් වල දැක්වීම් වල දැඩි වාස්තවිකත්වයක් ( අපෙන් පරිබාහිරව පවත්නා පරම සත්‍යයක් )දැකීමට අපට බල කරයි. එබදු අර්ථ දැක්වීම් පරම සත්‍යයක් යයි ද එමගින් ලෝකය හා ඒ හා බැදුනු සංසිද්ධීන් නිරවචනය වන්නේ යයිද අපි අවිඥ්ඥානකව පිලිගනිමු. ඉන් එහාට විකල්පයක් ගැන සිතීමට අපේ තුන් හිතකවත් නැත ( සත්‍යයෙන් එහාට මොනව හොයන්නද ). ආර්ථික විද්‍යාව හා සමාජ විද්‍යාව ආදී සාපේක්ශක බව යම් තරමකට හෝ පෙනෙන ක්ෂේත්‍රයන්හි අවාස්තවිකත්වය පොඩ්ඩක් මොලේ කාල් ගා බැලූ විට පෙනෙන්නට ගනිතත් ගුරුත්වාකර්ශණය හෝ අයින්ස්ටයින් ගේ අවකාශ කාල වක්‍රය ගැනනම් එසේ සැක කරන්නටවත් අප ආස නැත. ඒවා සොබා දහමේ පාරිශුද්ධ නීති ලෙස අපේ ගැති මානසිකත්වයන් විසින් පිලි ගෙන ඇති බැවිනි. එහෙත් ඒවායේද සමාජවිද්‍යාවට වඩා ඇති පරම සත්‍යයක් නැත. 


මිනිසාගේ අසීමිත අවශ්‍යතා සැපිරීමට සීමිත සම්පත් වලට තබා අසීමිත සම්පත් වලටවත් නොහැකි බව පෙරදිග අපට අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නැත. සොබා දහමේම කොටසක් වන අපට එසේකිරීමට අයිතියක් නැතුවාක් මෙන්ම මෙබදු පටු චින්තනයන් හා නිර්වචනයන් හා සබැදුනු දැනුම විසින් විනාශ කර දමන සොබා දහම විසින් පෙරලා අප විනාශ කරන බව නොකිවමනාය. එබදු සංකල්ප අපගේ චින්තනය සමග බද්ධව පවතී. අපේ සංකල්ප වලට අපේ දෙය දෙවැනි තැනට දමන අපි බටහිර දැනුම හා නිර්වචන වන්දනාමාන කරමින් එයින් ලෝකය නිර්වචනය වන්නේ යයි සිතමින් යන මෙම ගමන ගැන දෙවරක් සිතීමට කාලය එලඹ ඇත. 


උඩුගං බලා පිහිනීමක් විය හැකි වුවත් අනියම් ආකාරයකින් හෝ බහුජාතික සමාගම්වල ඩිරෙක්ටර් බඩ තඩියන්ගේ බඩකට පිරවීමටත් ලෝකය විනාශ කිරීමටත් දායක නොවී ඒ වෙනුවෙන් උත්සාහ මාත්‍රයක් හෝ දරා මිය යාම යහපති.


 ඒ අනුව බලන කල ආර්ථික විද්‍යාවේ ද එනයින් ආර්ථික විද්‍යාව තුලින් ව්‍යුත්පන්න වන හා ආර්ථික ය සමග සබැදුනු ක්ෂේත්‍රයන් ගේ ද මූලික අරමුණ හා පරමාර්ථය මෙය බවට පත් වෙයි. ආර්ථිකමය, සංස්කෘතිමය, දේශපාලනික හෝ අන් මොනම යම් ක්ෂේත්‍රයක් වත් වියුක්ත නොවන නිසාත් මේ සියලු දේ සංයුක්ත නිසාත්, තවද මේ සියලු ක්ෂේත්‍රයන් එකට ගැට ගසා තබන යෝධ හුයක් හා ප්‍රධාන සාධකයක් වන ආර්ථිකයට එකී ක්ෂේත්‍රයන් අතුරින් මූලික තැනක් හිමි වන නිසාත් (මාක්ස් හා එන්ගල්ස් සමස්ත මානව ඉතිහාසය හා සමාජ ක්‍රියාකාරකම් ආර්ථිකයට ඌණනය කරන්නේ මේ නිසාවෙනි. මාක්ස් ගේ මේ ක්‍රියාව කොතරම් ගොබ්බ වුවත් අපට ග්‍රහනය වන ලෝකය තුල ආර්ථිකයට ඇති වැදගත් කම මෙයින් පිලිබිඹු වෙයි. ) එකී සියලු ක්ෂේත්‍රයන් තුල ආර්ථික විද්‍යාවේ මෙම ගොබ්බ,මුග්ධ,පටු,ආත්මාර්ථකාමී හා විනාශකාරී සංකල්පය හොල්මන් කරයි. 


විනාශකාරී සිද්ධිය වන්නේ ආර්ථික පද්ධතියේ හරය එසේ වන විට එහිලා අනෙකුත් ක්ෂේත්‍ර වලට පවතින සබදතාවයන් නිසා රටක ජාතික ප්‍රතිපත්තිද දෙශපාලනික ප්‍රතිපත්තිවලද හරය එය බවට පත් වීමය. මිනිසුන්ට අසීමිත අවශ්‍යතා කෘතිමව ජනනය කිරිමටත් එම අවශ්‍යතා ලුහු බැද යාමටත් අවසානයේ විනාශ මුඛයට ඇද වැටීමටත් ඒවා දායක වීමය.


  එසේ නොකලහොත් අපට 'දියුණු' වීමට නොහැකිය. මේ දියුණුවද අප පිට පැටවූ මිත්‍යාවකි. අපේ ඕනෑම පොඩි එකෙකුගෙන් ඇසූ විට අප දියුණු වෙමින් පවතින රටකි යයි පිලිතුරු දෙනු ඇත. එම දියුණුව මනින්නේද බටහිරයන්ගේ නිර්ණායකයන් වලිනි. එක් මිනිසෙකුට පවතින වාහන ගණනද, ගෙදරක තිබෙන ටෙලිවිශන් ගණනද යනාදී මෙකී නොකී නිර්ණායක මහ තොගයක් ඇත. මේවායේ වැරද්දක් නැත. එහෙත් දියුණුව යනු එයයයි අපි අර්ථ දක්වන්නේ කෙසේද. සෑම විටෙකම භෞතීකය හමුවේ ආධ්‍යාත්මය දෙකට දමන ඔවුන් සතුට යනු භෞතිකය තුලින් ජෙනරේට් කල හැකි දෙයක් යයි මුලාවක සිටිති. මෙම මුලාවේ තරම විශ්‍රාම ගොස් දරුවන්ගෙන් ඈත්ව තනිව වෙසෙන ඇමෙරිකානුවෙකු හා විස්තෘත පවුල් තවමත් ශේශව පවතින ලංකාවේ සිය දරුවන් මුණුබුරන් සමග කෙලිදෙලෙන් පසු වන වැඩිහිටියෙකු සතු භෞතික වස්තූන් ප්‍රමාණයත් ඔවුන් සතු සතුටේ ප්‍රමාණයත් සසදා බැලූ විටය. මොවුන් ගෙන් වඩා දියුණු කවුද යන්න නැවත නැගිය යුතු ප්‍රශ්නයකි.


  විහුලුව වන්නේ අභිමානවත් චින්තනයකට හා සංස්කෘතියකට උරුමකම් කියන අප ද මෙකියනු ලැබූ දියුණුව පරම සත්‍යයයිද එයින් ලෝකය නිර්වචනය වන්නේ යයිද සිතමින් බ්‍රේන් වොශ් වීමයි.


   උදාහරණයක් ලෙස කුඩා කල අපට හෙවත් ධරණීය සංවර්ධනයේ අර්ථ දැක්වීම උගන්වන විට අපි කට බලියාගෙන අසා සිටියෙමු. 'සීමිත ස්වභාවික සම්පත් මතු පරපුරටත් ඉතිරි කරමින් අරපරිස්සමින් භාවිත කරමින් මිනිසා සදහා යොදා ගැනීමය'. විද්‍යාවේ අරමුණ 'මිනිසාගේ ජීවිතය වඩාත් පහසු කිරීම'ය.


අපි ලෙස ධරණීය සංවර්ධනය ගමු. මෙය ලෝකයේ ඇති ලොකුම බොරු වලින් එකකි. මතුපිටින් ස්වභාවික සම්පත් ඉතිරි කරමින් ලස්සනට යන ගමනක් මෙන්ම පරිසර හිතකාමී බවක් පෙනෙන්නට ඇත. නමුත් මෙයින් කියන්නේ කුමක් ද? අප විසින් සම්පත් ඉතිරි කල යුත්තේ අප සොබා දහමේ කොටසක් නිසාවත් එය කාබාසිනියා කිරීමට අපට අයිතියක් නැති නිසාවත් නොව අනාගත මනුශ්‍යයන් විසින් ද කාබාසිනියා කිරීමට ඉතුරු කිරීමටය. පෙරදිග ජාලගත චින්තනය හා මෙය සම්පූර්ණයෙන් වෙනස් සංකල්ප දෙකකි. පැරණි ගොවි තැනේදී අස්වැන්නෙන් කොටසක් සතුන් සදහා ඉතිරි කලේද කෘශිකර්මය සදහා යොදාගත් ජලය නැවත පරිසරයට මුදා හැරියේද පරිසරය සුරැකීමට නොව අපිද පරිසරයේ කොටසක් නිසා එය අයථා පරිහරණයට අපට අයිතියක් නැති නිසාය. සොබාදහමේ විශාල ජාලයක් තුල අප එක් කොටස්කරුවෙකු පමණක් බව අපගේ විඥ්ඥානය තුල ගැබ්ව පැවති නිසාය. 


   එම නිසා ඔය කියන ධරණීය හුදු සංවර්ධනය වංචාවක් පමණි. මිනිසා සොබා දහමේ ස්වාමියාය යන සංකල්පය තිබෙන තාක් මිනිසා සොබා දහම විනාශ කරනු ඇත.


 අප ලිං ගෑට්ටෙන් අහස බලා ලිං ගෑට්ටෙන් පෙනෙන්නේ පරම සත්‍ය යයිද ඉන් එහාට කිසිවක් නැත යයි ද මුලාවට පත් වූ කාලය අවසාන කල යුතුය. නෑවතත් කීමට ඈත්තේ උඩුගං බලා පිහිනීමක් විය හැකි වුවත් අනියම් ආකාරයකින් හෝ බහුජාතික සමාගම්වල ඩිරෙක්ටර් බඩ තඩියන්ගේ බඩකට පිරවීමටත් ලෝකය විනාශ කිරීමටත් දායක නොවී වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් උත්සාහ මාත්‍රයක් හෝ දරා මිය යාම යහපති බවය.