Saturday, February 4, 2012

නිදහස යනු....

මනුෂ්‍යයන් වන අප සියල්ල මනසින් නිර්මාණය කරන්නෝ වම්හ. ගති සිරිත්, ආචාර විධි, සදාචාරාත්මක ආකෘති, උස්පහත් භේද, දැනුම යන මේ සියල්ල අපගේ නිර්මාණ වේ. අපගේ සම්මුතීන් වේ. එසේ නිර්මාණය කරගත් සම්මුතීන් තුලින් අපි ලෝකය දකින්නෙමු. මෙම ආකෘති දේශයට, කාලයට සාපේක්ශ වන අතර එක් එක් ආකෘතීන් අතර පොදු සම්මතයන් මෙන්ම වෙනස්කම්ද ඇත. අපගේ සංස්කෘතිය බුද්ධ දර්ශනයෙන් ආභාශය ලැබූ අතර නිර්වාණය අවසානය පරමාර්ථ කොටගත් සදාචාරාත්මක ආකෘතියක් අප ගොඩ නගාගෙන ඇත්තෙමු.(නමුත් සිංහල සංස්කෘතිය යනු බුද්ධ දර්ශනයෙන් අභාශය ලැබූවක් මිස බුද්ධ දර්ශනය නොවන බවද එහි ද පිළිකෙව් කල යුතු දුර්වලතා පවතින බවද අවධාරණය කල යුතුය.)
ඉන්දියානුවන් ගේ සදාචාරාත්මක ආකෘතිය බ්‍රහ්මන් එල්ල කොටගත් එකක් වන අතර බටහිරයන්ගේ එය ස්වර්ගය ඉලක්ක කොට ගත් එකක් වෙයි. මෙම සදාචාර පද්ධති කාලයාගේ ඇවෑමෙන් නීති පද්ධති බවට පරිවර්තනය වන අතර අප සිත් තුල යථාර්ථයක් ලෙස මුල් බැස ගනී. ලෞකික සැපත හා ස්වර්ගය තුල ලෝකෝත්තර සැපත අරමුණු කොට ගත් බටහිර සදාචාරාත්මක හා නීති පද්ධතිය සමග ගණිකා නිවාස හෝ වයෝවුර්ධ දෙමාපියන් පෝශණය නොකිරීම සංගත වන්නේද ( එතරම් අවුලක් නොවන්නේද ) සිංහල හෝ දමිළ සංස්කෘතිය තුල එය සංගත නොවන්නේද එම නිසාය. තවද දමිළ සංස්කෘතිය හා සදාචාරාත්මක පද්ධතිය තුල හින්දු ආගමේ බලපෑමද සමග සත්ව පූජාව සංගත වන්නේද සිංහල සංස්කෘතිය තුල එය සංගත නොවන්නේද එම නිසාය.


බටහිර අධිරාජ්‍යවාදය සමග සිදු වූ සංස්කෘතික ඝට්ඨනය ද සමග මෙම සදාචාර පද්ධතීන්ගේ මුසුවීමක් සිදු විය. ඔවුන් විසින් අපට කෘතිමව ඇති කොට ගිය අපගේ දේශයට, දේශගුණයට හෝ ආගම සමග සංගත නොවන්නා වූ ආචාර විධි හා සංස්කෘතික රාමූන් තුල අප තවමත් චින්තන වහලුන් වී ඇත්තෙමු. එම නිර්ණායක තුලින් උසස් පහත් භේද මනින්නෝ වෙමු. එම රාමූන් පරම සත්‍යයන් යයි ද එතුලින් ලෝකය නිර්වචනය වන්නේ යයිද සිතන්නෙමු.
උදාහරණයක් ලෙස හැදි ගෑරුප්පුවෙන් කෑම අපගේ දේශගුණය සමග කොතරම් අසංගත වුවත් කන්නා හා නොකන්නා අප මනසින් වර්ගීකරණය කරන්නෙමු. කලිසම හා සරම මනසින් වර්ගීකරණය කරන්නෙමු. පොශ් කඩයකට ගොස් කඩ්ඩෙන් කෑම ඉල්ලන්නා හා සිංහලෙන් ඉල්ලන්නා වර්ගීකරණය කරන්නෙමු. අවිඥ්ඥානවකවම අප විදෙස් චින්තනයක වහලුන් වී ඇත්තෙමු.
අතෙන් කෑම හැන්දට වඩා උසස් වන්නේ කෙසේද? මේ සියල්ලම අප මනසින් තනා ගත් සීමාවන් වේ. අප විසින් කල යුත්තේ අපගේ දේශයට හා ආර්ය අශ්ඨාංගික මාර්ගය සමග සංගත වන ආචාර ධර්ම පද්ධතියක් තනා ගැනීම හා එතුලින් ලෝකය දැකීමට මානසික පරිවර්තනයක් ඇති කර ගැනීමය. එසේ නැතිව බොරුවට නිදහස් උලෙලක් තිබ්බාට කොඩියක් වාහනේ ගසා ගත්තාට අප නිවහල් ජාතියක් වන්නේ නම් නැත. ලොව කිසිදු ආචාර ධර්ම, සංස්කෘතියකට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ චින්තනයක් අපට උරුම බවත් අප ලෝකය දැකිය යුත්තේ එතුලින් බවත් යළි සිහියට නගා ගැනීමට කාලය එලඹ ඇත.

No comments:

Post a Comment