Friday, August 16, 2013

බුද්ධ දර්ශනය අදේශපාලනිකයි ද??



බුද්ධ දර්ශනය යනු ප්‍රමුඛ වශයෙන් පුද්ගල කේන්ද්‍රීය වූ දර්ශනයක් මිස සමාජ කේන්ද්‍රීය වූ දර්ශනයක් නොවේ. සමාජය ඉලක්ක ගත වූ දර්ශනවාදී ප්‍රවේශයන් එහි සමහර අවස්ථාවලදී පෙනෙන්නට තිබුන ද එහිද අන්තර්ගත දාර්ශනික හරය වන්නේ සමජය ගොඩ නැගෙන්නේ පුද්ගල එකතුවකින් වන නිසා, පුද්ගල කේන්ද්‍රීය වර්ධනය හරහා සමාජ සංවර්ධනය සිදු වේ යන්න මිස අනෙකක් නොවේ. මෙය සමාජයක් තුල පුද්ගල අනන්‍යතාවයට දොයිතුවක වටිනාකමක් නොදෙන මාක්ස්වාදී ප්‍රවේශයකට වඩා අති සාධාරණ ප්‍රවේශයකි. නමුත් මෙහි තවත් පැත්තක් ඇත. බුද්ධ දර්ශනය ගැබ් වූ සංස්කෘතියක් තුලින් සමාජයට වන බලපෑමයි. බුද්ධ දර්ශනය ප්‍රමුඛ ලෙස සමාජ කේන්ද්‍රීය නොවුනද, ඒ ආශ්‍රිතව ගොඩ නැගෙනා සංස්කෘතියක් තුල පවත්නා හර පද්ධතීන් ගොඩ නැගෙන්නේ නිර්වාණයට සාපේක්ශව නිසා එබදු සමාජයක පවත්නා හර පද්ධතීන් ( කෙටියෙන් කිවහොත් හොද නරක තීරණය වන නිර්ණායක )මානව සබදතා, ඉවසීම, උපේක්ශාව, මෛත්‍රිය ආදී සංකල්ප ඇසුරෙන් ගොඩ නැගෙන උත්තරීතර එකක් වෙයි. එහෙයින්ම එය අති ප්‍රබල සමාජමය වටිනාකමක් ඇති දර්ශනයක් බවට නිසගයෙන් පත් වෙයි. බුද්ධ දර්ශනය පුද්ගල කේන්ද්‍රීය වුවද ඒ හා ඒකාබද්ධ වූ වසර දහස් ගණනක් ඈතට දිව යන සංස්කෘතියක් සහිත වූ රටක් තුල බුද්ධ දර්ශනයට යම් දේශපාලනික අර්ථයක්, ප්‍රවේශයක් හෝ වටිනාකමක් ලැබෙන්නේ මෙන්න මේ කාරණාව නිසාය.


බුද්ධ දර්ශනය තුලින් ගොඩ නැගුනු ජීවන හර පද්ධතිය යුරෝපීය මධ්‍යතන යුගයේ පල්ලිය තුලින් ඇති කල ආකාරයේ පීඩිත කෘතිම සභ්‍යත්වක් නොවේ. එය ජීවන වටිනාකම් ජනයා තුලට අවබෝධයෙන් ඇතුල් කල අවබෝධී සභ්‍යත්වයකි. දේශපාලනික හා සමාජමය අර්ථයකින් බුද්ධ දර්ශනයේ වටිනාකම කිව නොහැකි තරම් වන්නේත් මේ නිසාය.

මේ කාරණය නිසා බුද්ධ දර්ශනය හා එසේ වන්නේ නම් නොවැලැක්විය හැකි ලෙස බෞද්ධ සංස්කෘතිය යම් රටකින් වැනසී යාමේ තර්ජනයකට මුහුණ දෙයි නම් ඊට එරෙහිව පාලනයකින් යුතුව හා සදාචාරාත්මක ලෙස නැගී සිටීමේ පූර්ණ අයිතිය බෞද්ධයන් සතු වේ. මන් ද එකී බෞද්ධ සංස්කෘතියත් සමග වැනසී යන්නේ උත්තරීතර වූ මානුශීය ගුණාංග හා හර පද්ධතීන් රැසක් බැවිනි. සියවස් ගණනක උරුමයක් බැවිනි. සමහර මොඩර්න් බෞද්ධයින් 'බුදු හාමුදුරුවෝ කියල තියද ඔහොම කරන්න කියල. අපි උපේක්ශාවෙන් ඉමු' යයි පවසන්නේ පුද්ගල කේන්ද්‍රීය දර්ශනයක් වුවද එහි ඇති සමාජමය පැති කඩ ඔවුන්ට ග්‍රහනය නොවන නිසාය. බුදු පිලිම, විහාරස්ථාන හෝ වෙනත් පූජ්‍යමය වස්තූන් සියල්ල අනිත්‍ය වුවද නිස්සාර වුවද සමාජයක් තුල බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය අඛන්ඩව පවත්වා ගැණීම උදෙසා මේ සියල්ල අනුපමේය වූ කාර්යභාරයක් ඉටු කරයි.

නමුත් මෙලෙස ගන්නා වූ ක්‍රියාමාර්ගයන් සියල්ල බෞද්ධ හර පද්ධති හා සීමාවන් තුල සිදුවන ඒවා විය යුතුය. යම් හෙයකින් එකී ක්‍රියාමාර්ගයක් යලි ප්‍රතිවර්තී ලෙස බෞද්ධ හර පද්ධතීන්ම උලංඝනය කරයි නම්. ඡේදනය කරයි නම් හා බෞද්ධ චින්තනයට පටහැනි වේ නම් එයින් බෞද්ධ සංස්කෘතිය රැක ගැණීමේහි ලා වන ධනාත්මක ප්‍රගමනයක් නැත. එකී ක්‍රියාමාර්ගයන් බෞද්ධ සංස්කෘතිය රටකින් වද කිරීමට හා නැසීමට හේතු වෙයි. කල කෝලාහල ඇති කරමින්, වෙලද සල් ගිනි තියමින්, සංඝ රත්නයේ ගෞරවය කෙලෙසමින් නාඩගම් නැටීම බෞද්ධ දර්ශනය රැක ගැනීමේහි ලා දොයිතුවක කාර්යයක් ඉටු නොකරන්නේ මේ නිසාය. එසේ යම් බුද්ධ දර්ශනය රැක ගැණීමේහි ලා සමාජමය, භෞතිකමය ක්‍රියාවලියක් සිදු වන්නේ නම් එය අභ්‍යන්තර සංශෝධනවාදී විය යුතුය. ජනයා තුල භක්තිය හා ධර්මාවබෝධය වැඩි කරලන්නක් විය යුතුය. බෞද්ධ දර්ශනය ගෞරවයට පාත්‍ර කරවන්නක් විය යුතුය. විරෝධතාවක් නම් බෞද්ධ හර පද්ධතීන් තුල සිට සිදු වන්නක් විය යුතුය.

උදාහරණයක් ලෙස මිශනාරි තර්ජනයට දැඩි ලෙස ශ්‍රී ලංකාව මුහුණ දී, සියලු ධනවතුන්,ප්‍රභූවරුන් පාහේ අන්‍යාගමීකරණය වෙමින් පැවති යුගයක, බෞද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කල පානදුරාවාදය අතිශය ධනාත්මක සමාජමය ක්‍රියාවලියක් වන්නේ එම නිසාය. එය බෞද්ධ ජනයා තුල ධර්මාවබෝධය ද භක්තියද වැඩි කරන සුලු වූ අතර මිශනාරි ව්‍යාපාරය මතවාදී තලයේ බුද්ධිමය වශයෙන් පරාජය කල ඓතිහාසික සංසිද්ධියකි. සමාජය තුල වටිනාකමින් ඇද වැටෙමින් තිබූ බෞද්ධ කම නව ජීවයක් ලබා ජනයා තුල අභිමානයක් ඇති කරවීමට මෙය සමත් විය.
'බුදු හාමුදුරුවො කියල තියද වාද කර කර ඉන්න කියල' වැනි මොඩර්න් බෞද්ධයන්ගේ ගොන් කතා පුස්සක් වන්නේ මා ඉහත කී බෞද්ධ දර්ශනය තුල ඇති සමාජමය වටිනාකම හා දේශපාලනික අර්ථය නිසාය.

තවත් උදාහරණයක් ගතහොත් මෑත යුගයේ සෝම හිමියන් කල සමාජමය විප්ලවයද ධනාත්මක වූ අභ්‍යන්තර සංශෝධනවාදී ස්වරූපයක් ගත් එකක් විය. බෞද්ධ සංස්කෘතිය තුල වූ මිත්‍යාවන්ට වෙලෙන්දන්ට සහ හොරුන්ට ජීවිත අවදානමද නොතකා කල පහර ගැසීම බෞද්ධ සමාජය තුල විශාල පුනර්ජීවනයකට හා සාමකාමී නැගිටීමකට හේතු විය. අතිශය දීර්ඝ ධර්ම චාරිකා පා ගමනින් වඩිමින් බුද්ධි කලම්බන සුලු වූ මධුර ධර්ම දේශනා කරමින් එතුමා කල සේවය නිසා සමස්ත බෞද්ධ සමාජය නව පුනර්ජීවයක් ලැබීය.

ධනාත්මක වූ බෞද්ධ විප්ලවයන් අපේ රටට අවශ්‍යය. බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය රටක් තුල අඛන්ඩව පවත්වාගෙන යාමට ඒවා අවශ්‍යය. නමුත් වර්තමාන බෞද්ධ විප්ලවයක් කරනවානම් එය අනිවාර්යයෙන් අභ්‍යන්තර සංශෝධනවාදී විය යුතුය. ගරා වැටී තිබෙන සංඝ සමාජය ගොඩ ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවයය. අනුන්ගෙ ඇහේ රොඩ්ඩ සෙවීමට කලින් එය කල යුතුය. මන්ද බෞද්ධ සංස්කෘතිය මෙරටින් තුරන් වී ගිය දවසට උත්තරීතර වූ හරපද්ධතියක් සංස්කෘතියක් මෙරටින් වැනසී යනවා මදිවාට දැණටම නොගැළපෙන ආර්ථිකමය හා දේශපාලනික තුල අතෘප්තිකරව වැලේ වැල් නැතිව සිටින මෙරට ජනයා සමාජය හා ජිවන රටාව තුලද අතෘප්තිකර වී නන්නත්තාර අනන්‍යතා රහිත සොම්බී ගණයේ අය්යලා ටිකක් වීම නොවැලැක්විය හැකි නිසාය.

Saturday, March 30, 2013

බස ගැන යමක්...

ස්වභාවිකව ගොඩ නැගෙන හා පරිණාමය වන ඕනෑම සංස්කෘතියක, එකී සංස්කෘතිය හා එතුලින් බිහි වන ඕනෑම භෞතික හා භෞතික නොවන නිර්මාණයක් අතර සංගත බවක් වෙයි. වෙනත් අයුරකින් කිවහොත් යම් සංස්කෘතියක් තුලින් බිහි වන ඕනෑම නිර්මාණයක් හා දැනුමක් එකී සංස්කෘතියේම ප්‍රතිබිම්භයක් / පිලිබිඹුවක් වෙයි. එම නිර්මාණය හෝ දැනුම එය බිහි වූ සංස්කෘතියේ චින්තනයේ ප්‍රකාශනයක් වෙයි.යම් සංස්කෘතියක් හා චින්තනයක් පදනම් කොට ගෙන ගොඩ නැගෙන ගෘහ නිර්මාණ‍ය, සංගීතය, භාශාව කලාව ආදී සියල්ල එකී සම්ප්‍රදායන් තුල ජීවත් වන මිනිසුන්ගේ චින්තන සම්ප්‍රදායෙහි ප්‍රතිබිම්භයක් වේ.

භාෂාව මෙකී නිර්මාණ අතුරින් ඉතා වැදගත් තැනක් ගනී. භාශාව යනු යම් සංස්කෘතියක පිහිටන ජන කොට්ඨාශයකගේ ප්‍රකාශන මාධ්‍යය වන අතර එම නිසාම භාෂාව එකී ජන කොට්ඨාශයේ චින්තනයේ සෘජු පිළිබිඹුවයි. භාශාව යනු සංකෘතියේ නිර්මාණයක් වන අතර සංස්කෘතියද පෙරලා භාශාව තුලින් යම් පමණකට පෝශණය වෙයි. මේවා එකිනෙක සම්බන්ධ වන පදනම වන්නේ චින්තනයයි. භාශාව යනු චින්තනයේම ප්‍රතිබිම්භයක් වන අතර භාශාව තුලින් චින්තයද පෙරලා වෙනස් කරයි. මේවා අතර ඇත්තේ අතිශය සංගත චක්‍රීය සබදතාවයකි. මාක්ස්වාදය තුලද "භාශාව යනු විඥ්ඥානයේ ප්‍රකාශන ස්වරූපය" ලෙස සදහන්ය.

මෙකී අර්ථයෙන් ගත් කල සිංහල භාශාව යනු මෙරට මුල් බැස ගත් බෞද්ධ සම්ප්‍රදාය හා සංයුක්ත චින්තනය මත පදනම් වූ අලංකෘත වූද, යෙදීමෙන් අති පොහොසත් වූ ද, උත්තර මානුශීය සබදතා හා අති උත්කෘෂ්ඨ වූ අචාර ධර්ම පද්ධතියක් ප්‍රකාශනය කරන්නා වූද මාධ්‍යයයි. කලින් සදහන් කල පරිදි භාශාව සංස්කෘතියෙන් පෝශනය වන්නකි. සිංහල භාශාව යනු හුදු වචන ගොන්නක් නොවේ. සිංහල භාශාව පිටුපස "නැන්දලා, මාමලා, බාප්පලා, පුන්චිලා, ආච්චිලා, සීයලා, මද්දු තාත්තලා, ලොකු තාත්තලා" වැනි මානුශීය සබදතාවයන් රැසක් ද ආප්තෝප දේශ, ජන කතා, බෞද්ධ සාහිත්‍ය, ජාතක කතා, ලෝ වැඩ සගරාව, ලෝකෝපකාරය, අතොරක් නොමැති වූ උපදේශාත්මක කාව්‍ය ආදී එකී මෙකී නොකී දහසකුත් ආචාර විධි, සාරධර්ම හා හර පද්ධතීන් රැසක් කැටි කොට ගත් කාරණා දහසක් අඩංගුය

වර්තමාන බොහෝ මුග්ධ දෙමවුපියන් සිය පොඩි එවුන්ගේ මවු බස ඉංග්‍රීසි කිරීමට තැත් කරන්නේ නිශ්චිත දේශපාලනික කාරණාවක් හා සංස්කෘතිමය ආධිපත්‍ය පිලිබද පුහු හීනමානයික හැගීමක් නිසා මිස අන් කාරණාවක් නිසා නොවේ. මෙම මුග්ධ දෙමවුපියන්ට තමන් සිදු කරන රට ගොන් කම ගැන අවබෝධ වන්නේ තවත් පරම්පරා දෙකක් ඉකුත්ව ගිය පසුවය. මෙයින් අදහස් කරන්නේ මවු බස ඉංග්‍රීසි වූවන් නිහීන හෝ ත්‍රාඩ පුද්ගලයන් බැව් නොවේ. නමුත් අධිපරිභෝජනවාදී හා අතිශය පෞද්ගලිකත්වය ඉස්මතු වූ සංකෘතියක් තුලින් බිහිවූ භාශාවක් වන ඉංග්‍රීසිය තුල හා එය පිටුපස පවතිනා ආචාරධර්ම හා හර පද්ධතීන්ද එය බිහි වූ සංස්කෘතියේම පිලිබිඹුවක් පමණි. ඔවුනට සාපේක්ශව ඔවුන්ගේ හර රාමූන්ට සාපේක්ශව එය වැරදි නැත. බටහිර රටක පෞද්ගලිකත්වය ඉස්මතු වී දරුවන් වයෝවුර්ධ දෙමාපියන් හැර දැමීම එතරම් අවුලක් නොවන්නේද, පෙරදිග රටක එය අවුලක් වන්නේද එම නිසාය.

බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ ශ්‍රේශ්ඨ හර පද්ධතීන්ගෙන් පොහොසත් සිංහල සාහිත්‍යයෙන් ආඪ්‍ය වූ අති අලංකෘත සිංහල භාශාව තමන්ට උරුමයෙන් ලැබී තිබියදී එයට පහරමින් හුදු මාන්නයෙන් හා පුහු හීනමානයෙන් සන්නද්ධව දරුවන් සුද්දන් කිරීමට පොලවේ පස් කමින් වලින් කන අහින්සක මුග්ධ ගොන් බදින කනු වලට කල ගොන්කම සිහි වන්නේ එකී දරුවන් විසින්ම තම තමන් මහලු මඩමට ගාල් කල පසුය. නැතහොත් තමන්ට ඕන කුදයක් ගහගන්නට යයි කියා රටින් තොලොන්චි වී ගිය කලය.

ශ්‍රී ලාංකීය දේශපාලනය තුල ග්‍රාමීය සිංහල බෞද්ධයා...



ශ්‍රී ලංකා සමාජය තුල ග්‍රාමීය සිංහල බෞද්ධ තරුණයා යනු නිදහසෙන් පසු ශ්‍රී ලාංකික ඉතිහාසය පුරාවටම රැවටීමට භාජනය වූ, විවිධ දේශපාලනික මතවාදයන්ගේ අතකොලු බවට විවිධ කාලප්‍රාන්තර වල දී පත් වූ එනමුදු තවමත් විමුක්තියක් නොලැබූ, එහෙත් රටේ ගමන් මග විවිධ අවස්තාවන්හිදී සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට තරම් අතිශය ප්‍රබල විභවයක් සහිත වූ අරුම පුදුම සමාජ කොට්ඨාශයයි.

ජවිපෙ යනු ශ්‍රී ලාංකික දේශපාලනික ඉතිහාසය තුල ප්‍රධාන වශයෙන්ම අරක් ගත් ග්‍රාමීය පීඩිත සිංහල තරුණයන්ගේ දේශපාලන පක්ශයයි. මෙයින් අදහස් කෙරෙන්නේ එය ශ්‍රී ලාංකීය දේශපාලනික ඉතිහාසය තුල පීඩිත ජනතාවට කිසියම් ඊනියා විමුක්තියක් හෝ රැකවරණයක් හෝ නිවැරදි වාම වාදී දේශපාලනික විඥ්ඥානයක් සැපයූ බව නොවේ. ග්‍රාමීය සිංහල බෞද්ධ ජනතාව එහි ඓතිහාසික යාන්ත්‍රණය තුල ජීව ශක්තිය/ඉන්ධනය/ප්‍රධාන ශ්‍රම බලකාය හා ගාමක විභවය වූ බවය. 89 විපලවයට සාපේක්ශව උගතුන්/වියතුන්ගෙන් සමන්විත වූයේයයි සම්මත 71 කැරැල්ලේදී පවා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් / උපාධිධාරීන් හා වියතුන්ගෙන් සමන්විත වූයේ පක්ශ යාන්ත්‍රණයේ ඉහල තලයේ, එනම් නායකත්වයේ පමණි. එකී ඊනියා අරගලයේදී පවා පක්ශ යාන්ත්‍රණයේ ශ්‍රම බලකාය වූයේ ග්‍රාමීය රැකියා විරහිත සිංහල බෞද්ධ තරුණයන් මිස අන් කවරෙකුත් නොවේ. එහි අ.පො.ස. උසස් පෙල තෙක් වත් ඉගෙනුම ලැබූ අය සිටියේ 5.7% පමණි. 89 තත්වය මීටත් වඩා ලොල් සහගත වන අතර ඒගැන කතා කිරීම පවා නිශ්ඵලය.

කුමනාර්ථයෙන් ගත්තද ජවිපෙ යනු සාම්ප්‍රදායික මාක්ස්වාදී චින්තනය අනුගමනය කල සාම්ප්‍රදායික වාමවාදී පක්ශයක් නොවේ. අඩු තරමේ එහි ආරම්භයේදී වත් එය එවැනි පක්ශයක් නොවීය. ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ දේශපාලන න්‍යායන් දෙස බලනකල ඔහු ඓතිහාසීය භෞතිකවාදය කෙසේ වෙතත් දයලෙක්තික භෞතික වාදය ගැනනම් ගැඹුරු දැනුමක් තිබූ අයෙකු නොවූයෙක් බැව් පැහැදිලිය. රාජ්‍ය භාෂා පනත සබැදි සිදුවීම් සමුදායත් සමග එවකට ලාංකීය සමාජයේ ඇති වී තිබූ සිංහල බෞද්ධ ප්‍රබෝධය ප්‍රයෝජනයට ගත් ඔහු සිංහල බෞද්ධ තරුණයා සිය පක්ශය වටා ඒකරාශී කරගනු පිණිස සාම්ප්‍රදායික වාමවාදී චින්තනයෙන් සම්පූර්ණයෙන් පීලි පනිමින් ද්‍රවිඩ කම්කරුවා යනු 'ප්‍රති විප්ලවවාදී බලවේගයක්' ලෙස හදුන්වමින්, 'ඉන්දියානු ව්‍යාප්තවාදය' නැමැති ඔහුගේ සුප්‍රසිද්ධ පන්තියෙන් එය න්‍යායික වශයෙන් ද ඔප්පු කරමින් ග්‍රාමීය සිංහල බෞද්ධ තරුණයා සිය පක්ශය වෙත බිලී බා ගත්තේය. ඔහු මෙය අවංක විප්ලවවාදී අරමුණකින් ඉටු කලේද නැති නම් පැවති සමාජීය දේශපාලනික තත්වය උපක්‍රමශීලීව ප්‍රයෝජනයට ගත්තේද යන්න පැහැදිලි නැති වුවත් විජේවීරගේ දේශපාලන න්‍යායන් පිලිබද විග්‍රහයකට යාම මෙම ලිපියේ අරමුණ නොවන බැවින් ඒ පිලිබද තව දුර විග්‍රහයකට යාම මෙතනින් නවත්වමි.

අද වන විට ජවිපෙ තුල මෙම සිංහල බෞද්ධ ග්‍රාමීය තරුණයා කෙරෙහි තිබූ ග්‍රහණය සම්පූර්ණයෙන්ම පාහේ නැති බංගස්තාන කොට මහින්ද රාජපක්ශ රජය එය සිය දේශපාලනික ව්‍යාපාරයේ ප්‍රධානතම බලවේගය බවට පත් කොට ඇත. ග්‍රාමීය සිංහල බෞද්ධ ඡන්දය ඔහුගේ ප්‍රධානතම තුරුම්පුවයි. විජේවීර වෙනුවට රැකියා විරහිත ග්‍රාමීය තරුණයාගේ ගැලවුම් කරුවා බවට නාමල් රාජපක්ශ බවට පත්ව ඇත. විශ්ව විද්‍යාල වරම් නොලැබූ ග්‍රාමීය තරුණයින් කෙතරම් ප්‍රමාණයක් සිය විමුක්තිය උදෙසා නාමල් රාජපක්ශ වෙත වසරකට පිහිට සොයා එන්නේ දැයි මදක් අවධානය යොමු කල විට මෙය උදක්ම පැහැදිලි වනු ඇත. එහෙත් මෙය කිසි සේත්ම ග්‍රාමීය තරුණයා වෙත ආලෝකය උදා වීමක් නම් නොවේ.

1948 අප නිදහස ලබා ගත්තද අද වන තාක් යටත් විජිත සමයේදී විනාශ වූ ගැමි ජනයාගේ සමාජ සංවිධානගත පැවත්ම සහ ඔවුන්ගේ ජීවන තත්වය ආරක්ශා කිරීමට, එය නැවත ගොඩනැගීමට හා ඔවුන්ට සාර්ථක විකල්පයක් සැපයීමට කිසිදු දේශපාලනික බලවේගයක් සමත්ව නැත.එවන් උවමනාවක් හෝ ඒ සදහා අවශ්‍ය නිවැරදි දැක්මක් හෝ සාර්ථක රාජ්‍ය ප්‍රතිපත්තියක් කිසිවෙකුටත් තිබුනේද නැත. සමස්ත ආර්ථිකය මුල් කරගත් පාලන රටාවක් වූ යටත් විජිත සමය තුල විනාශ වූ වාරිමාර්ග, අහිමි වූ ඉඩම් හා ආදේශක භාණ්ඩ, විවුර්ත ආර්ථික ක්‍රමය වැනි සංසිද්ධි ගනනාවක් නිසා පැවති ජීවන ක්‍රමය අවුල් වියවුල් වීඅසරණ වූ ඔවුන් අද එලොවටත් මෙලොවටත් නැති පිරිසක් බවට පත්ව සිටී. නිදහස් අධ්‍යාපනය නිසා එල්ලීමට යම් පිදුරු ගහක් තිබ්බද, වසරකට බිහිවන උපාධිධාරීන් සංඛ්‍යාවට සරිලන රැකියා ප්‍රමාණයක් සැපයීමට නොහැකි නිසා ග්‍රාමීය තරුණයා අදටත් පීඩිත අසහනකාරී අතෘප්තිකර සමාජ කොට්ඨාශයක් බවට පත්ව සිටී.

මෙම අර්බුදයට නිවැරදි විසදුමක් ලබන තෙක් විවිධ දේශපාලනික පක්ශ ඉදිරියටත් ඔවුන්ව සිය සුඛ විහරණය සදහා බිලී බාගනු ඇත. ඔවුන්ව නිවැරදි දේශපාලනික විඥ්ඥානයක් සහිත සත්වයන් බවට පත්වන තුරු රස්සාවට, ගමේ පාරට, පෞද්ගලික උදව්වට ඡන්දය දෙන ඔවුන් තුලින් බිහි වන ත්‍රාඩ දේශපාලනයද නොනවතිනු ඇත. මන්ද දේශපාලකයා යනු අමුතු සත්වයෙකු නොව එකී රටේ ජනතාවගේම ප්‍රතිබිම්භයක් වන බැවිනි. නමුත් මෙකී අර්බුදයට ස්ථිර සාර විසදුමක් දීමට දේශපාලකයාට ද උවමනාවක් නැත. මන්ද මෙම පීඩිත සමාජ පන්තිය ඉදිරියටද සිය දේශපාලනික මතවාදයන් වෙනුවෙන් බිලී බා ගැනීමට ඔවුනට අවශ්‍ය නිසාය.