Friday, August 16, 2013

බුද්ධ දර්ශනය අදේශපාලනිකයි ද??



බුද්ධ දර්ශනය යනු ප්‍රමුඛ වශයෙන් පුද්ගල කේන්ද්‍රීය වූ දර්ශනයක් මිස සමාජ කේන්ද්‍රීය වූ දර්ශනයක් නොවේ. සමාජය ඉලක්ක ගත වූ දර්ශනවාදී ප්‍රවේශයන් එහි සමහර අවස්ථාවලදී පෙනෙන්නට තිබුන ද එහිද අන්තර්ගත දාර්ශනික හරය වන්නේ සමජය ගොඩ නැගෙන්නේ පුද්ගල එකතුවකින් වන නිසා, පුද්ගල කේන්ද්‍රීය වර්ධනය හරහා සමාජ සංවර්ධනය සිදු වේ යන්න මිස අනෙකක් නොවේ. මෙය සමාජයක් තුල පුද්ගල අනන්‍යතාවයට දොයිතුවක වටිනාකමක් නොදෙන මාක්ස්වාදී ප්‍රවේශයකට වඩා අති සාධාරණ ප්‍රවේශයකි. නමුත් මෙහි තවත් පැත්තක් ඇත. බුද්ධ දර්ශනය ගැබ් වූ සංස්කෘතියක් තුලින් සමාජයට වන බලපෑමයි. බුද්ධ දර්ශනය ප්‍රමුඛ ලෙස සමාජ කේන්ද්‍රීය නොවුනද, ඒ ආශ්‍රිතව ගොඩ නැගෙනා සංස්කෘතියක් තුල පවත්නා හර පද්ධතීන් ගොඩ නැගෙන්නේ නිර්වාණයට සාපේක්ශව නිසා එබදු සමාජයක පවත්නා හර පද්ධතීන් ( කෙටියෙන් කිවහොත් හොද නරක තීරණය වන නිර්ණායක )මානව සබදතා, ඉවසීම, උපේක්ශාව, මෛත්‍රිය ආදී සංකල්ප ඇසුරෙන් ගොඩ නැගෙන උත්තරීතර එකක් වෙයි. එහෙයින්ම එය අති ප්‍රබල සමාජමය වටිනාකමක් ඇති දර්ශනයක් බවට නිසගයෙන් පත් වෙයි. බුද්ධ දර්ශනය පුද්ගල කේන්ද්‍රීය වුවද ඒ හා ඒකාබද්ධ වූ වසර දහස් ගණනක් ඈතට දිව යන සංස්කෘතියක් සහිත වූ රටක් තුල බුද්ධ දර්ශනයට යම් දේශපාලනික අර්ථයක්, ප්‍රවේශයක් හෝ වටිනාකමක් ලැබෙන්නේ මෙන්න මේ කාරණාව නිසාය.


බුද්ධ දර්ශනය තුලින් ගොඩ නැගුනු ජීවන හර පද්ධතිය යුරෝපීය මධ්‍යතන යුගයේ පල්ලිය තුලින් ඇති කල ආකාරයේ පීඩිත කෘතිම සභ්‍යත්වක් නොවේ. එය ජීවන වටිනාකම් ජනයා තුලට අවබෝධයෙන් ඇතුල් කල අවබෝධී සභ්‍යත්වයකි. දේශපාලනික හා සමාජමය අර්ථයකින් බුද්ධ දර්ශනයේ වටිනාකම කිව නොහැකි තරම් වන්නේත් මේ නිසාය.

මේ කාරණය නිසා බුද්ධ දර්ශනය හා එසේ වන්නේ නම් නොවැලැක්විය හැකි ලෙස බෞද්ධ සංස්කෘතිය යම් රටකින් වැනසී යාමේ තර්ජනයකට මුහුණ දෙයි නම් ඊට එරෙහිව පාලනයකින් යුතුව හා සදාචාරාත්මක ලෙස නැගී සිටීමේ පූර්ණ අයිතිය බෞද්ධයන් සතු වේ. මන් ද එකී බෞද්ධ සංස්කෘතියත් සමග වැනසී යන්නේ උත්තරීතර වූ මානුශීය ගුණාංග හා හර පද්ධතීන් රැසක් බැවිනි. සියවස් ගණනක උරුමයක් බැවිනි. සමහර මොඩර්න් බෞද්ධයින් 'බුදු හාමුදුරුවෝ කියල තියද ඔහොම කරන්න කියල. අපි උපේක්ශාවෙන් ඉමු' යයි පවසන්නේ පුද්ගල කේන්ද්‍රීය දර්ශනයක් වුවද එහි ඇති සමාජමය පැති කඩ ඔවුන්ට ග්‍රහනය නොවන නිසාය. බුදු පිලිම, විහාරස්ථාන හෝ වෙනත් පූජ්‍යමය වස්තූන් සියල්ල අනිත්‍ය වුවද නිස්සාර වුවද සමාජයක් තුල බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය අඛන්ඩව පවත්වා ගැණීම උදෙසා මේ සියල්ල අනුපමේය වූ කාර්යභාරයක් ඉටු කරයි.

නමුත් මෙලෙස ගන්නා වූ ක්‍රියාමාර්ගයන් සියල්ල බෞද්ධ හර පද්ධති හා සීමාවන් තුල සිදුවන ඒවා විය යුතුය. යම් හෙයකින් එකී ක්‍රියාමාර්ගයක් යලි ප්‍රතිවර්තී ලෙස බෞද්ධ හර පද්ධතීන්ම උලංඝනය කරයි නම්. ඡේදනය කරයි නම් හා බෞද්ධ චින්තනයට පටහැනි වේ නම් එයින් බෞද්ධ සංස්කෘතිය රැක ගැණීමේහි ලා වන ධනාත්මක ප්‍රගමනයක් නැත. එකී ක්‍රියාමාර්ගයන් බෞද්ධ සංස්කෘතිය රටකින් වද කිරීමට හා නැසීමට හේතු වෙයි. කල කෝලාහල ඇති කරමින්, වෙලද සල් ගිනි තියමින්, සංඝ රත්නයේ ගෞරවය කෙලෙසමින් නාඩගම් නැටීම බෞද්ධ දර්ශනය රැක ගැනීමේහි ලා දොයිතුවක කාර්යයක් ඉටු නොකරන්නේ මේ නිසාය. එසේ යම් බුද්ධ දර්ශනය රැක ගැණීමේහි ලා සමාජමය, භෞතිකමය ක්‍රියාවලියක් සිදු වන්නේ නම් එය අභ්‍යන්තර සංශෝධනවාදී විය යුතුය. ජනයා තුල භක්තිය හා ධර්මාවබෝධය වැඩි කරලන්නක් විය යුතුය. බෞද්ධ දර්ශනය ගෞරවයට පාත්‍ර කරවන්නක් විය යුතුය. විරෝධතාවක් නම් බෞද්ධ හර පද්ධතීන් තුල සිට සිදු වන්නක් විය යුතුය.

උදාහරණයක් ලෙස මිශනාරි තර්ජනයට දැඩි ලෙස ශ්‍රී ලංකාව මුහුණ දී, සියලු ධනවතුන්,ප්‍රභූවරුන් පාහේ අන්‍යාගමීකරණය වෙමින් පැවති යුගයක, බෞද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කල පානදුරාවාදය අතිශය ධනාත්මක සමාජමය ක්‍රියාවලියක් වන්නේ එම නිසාය. එය බෞද්ධ ජනයා තුල ධර්මාවබෝධය ද භක්තියද වැඩි කරන සුලු වූ අතර මිශනාරි ව්‍යාපාරය මතවාදී තලයේ බුද්ධිමය වශයෙන් පරාජය කල ඓතිහාසික සංසිද්ධියකි. සමාජය තුල වටිනාකමින් ඇද වැටෙමින් තිබූ බෞද්ධ කම නව ජීවයක් ලබා ජනයා තුල අභිමානයක් ඇති කරවීමට මෙය සමත් විය.
'බුදු හාමුදුරුවො කියල තියද වාද කර කර ඉන්න කියල' වැනි මොඩර්න් බෞද්ධයන්ගේ ගොන් කතා පුස්සක් වන්නේ මා ඉහත කී බෞද්ධ දර්ශනය තුල ඇති සමාජමය වටිනාකම හා දේශපාලනික අර්ථය නිසාය.

තවත් උදාහරණයක් ගතහොත් මෑත යුගයේ සෝම හිමියන් කල සමාජමය විප්ලවයද ධනාත්මක වූ අභ්‍යන්තර සංශෝධනවාදී ස්වරූපයක් ගත් එකක් විය. බෞද්ධ සංස්කෘතිය තුල වූ මිත්‍යාවන්ට වෙලෙන්දන්ට සහ හොරුන්ට ජීවිත අවදානමද නොතකා කල පහර ගැසීම බෞද්ධ සමාජය තුල විශාල පුනර්ජීවනයකට හා සාමකාමී නැගිටීමකට හේතු විය. අතිශය දීර්ඝ ධර්ම චාරිකා පා ගමනින් වඩිමින් බුද්ධි කලම්බන සුලු වූ මධුර ධර්ම දේශනා කරමින් එතුමා කල සේවය නිසා සමස්ත බෞද්ධ සමාජය නව පුනර්ජීවයක් ලැබීය.

ධනාත්මක වූ බෞද්ධ විප්ලවයන් අපේ රටට අවශ්‍යය. බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය රටක් තුල අඛන්ඩව පවත්වාගෙන යාමට ඒවා අවශ්‍යය. නමුත් වර්තමාන බෞද්ධ විප්ලවයක් කරනවානම් එය අනිවාර්යයෙන් අභ්‍යන්තර සංශෝධනවාදී විය යුතුය. ගරා වැටී තිබෙන සංඝ සමාජය ගොඩ ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවයය. අනුන්ගෙ ඇහේ රොඩ්ඩ සෙවීමට කලින් එය කල යුතුය. මන්ද බෞද්ධ සංස්කෘතිය මෙරටින් තුරන් වී ගිය දවසට උත්තරීතර වූ හරපද්ධතියක් සංස්කෘතියක් මෙරටින් වැනසී යනවා මදිවාට දැණටම නොගැළපෙන ආර්ථිකමය හා දේශපාලනික තුල අතෘප්තිකරව වැලේ වැල් නැතිව සිටින මෙරට ජනයා සමාජය හා ජිවන රටාව තුලද අතෘප්තිකර වී නන්නත්තාර අනන්‍යතා රහිත සොම්බී ගණයේ අය්යලා ටිකක් වීම නොවැලැක්විය හැකි නිසාය.