Friday, February 3, 2012

ලිං ගැට්ටෙන් අහස බැලීම....

  මට Economics යන්නට අන්තර්ජාලයේ දුටු අර්ථ දෑක්වීමක් නිසා මෙය ලිවීමට සිත් විය. එහි ආර්ථික විද්යාවේ අර්ථ දෑක්වීම ලෙස 'ආර්ථික විද්‍යාව යනු මිනිසාගේ අසීමිත අවශ්‍යතාවයන් සැපිරීමට සීමිත සම්පත් යොදා ගන්නේ කෙසේද' යනුවෙන් සදහන් වෙයි. තවත් විවිධ නිර්වචනයන් තිබුණද ඒ සියල්ලගේම මූලික හා මුඛ්ය හරය මෙය විය. මෙය කොහෙන් ආ කවුරු කී මගුලක් දැයි නැවත පොඩ්ඩක් සිතා බැලිය යුතුය. 



කොහෙන් ආවත් අම්බානකට බ්‍රේන් වොශ් වී ඇති අපේ අන්තර් විඥ්ඥානයන් විසින් මෙබදු අර්ථ දැක්වීම් වල දැක්වීම් වල දැඩි වාස්තවිකත්වයක් ( අපෙන් පරිබාහිරව පවත්නා පරම සත්‍යයක් )දැකීමට අපට බල කරයි. එබදු අර්ථ දැක්වීම් පරම සත්‍යයක් යයි ද එමගින් ලෝකය හා ඒ හා බැදුනු සංසිද්ධීන් නිරවචනය වන්නේ යයිද අපි අවිඥ්ඥානකව පිලිගනිමු. ඉන් එහාට විකල්පයක් ගැන සිතීමට අපේ තුන් හිතකවත් නැත ( සත්‍යයෙන් එහාට මොනව හොයන්නද ). ආර්ථික විද්‍යාව හා සමාජ විද්‍යාව ආදී සාපේක්ශක බව යම් තරමකට හෝ පෙනෙන ක්ෂේත්‍රයන්හි අවාස්තවිකත්වය පොඩ්ඩක් මොලේ කාල් ගා බැලූ විට පෙනෙන්නට ගනිතත් ගුරුත්වාකර්ශණය හෝ අයින්ස්ටයින් ගේ අවකාශ කාල වක්‍රය ගැනනම් එසේ සැක කරන්නටවත් අප ආස නැත. ඒවා සොබා දහමේ පාරිශුද්ධ නීති ලෙස අපේ ගැති මානසිකත්වයන් විසින් පිලි ගෙන ඇති බැවිනි. එහෙත් ඒවායේද සමාජවිද්‍යාවට වඩා ඇති පරම සත්‍යයක් නැත. 


මිනිසාගේ අසීමිත අවශ්‍යතා සැපිරීමට සීමිත සම්පත් වලට තබා අසීමිත සම්පත් වලටවත් නොහැකි බව පෙරදිග අපට අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නැත. සොබා දහමේම කොටසක් වන අපට එසේකිරීමට අයිතියක් නැතුවාක් මෙන්ම මෙබදු පටු චින්තනයන් හා නිර්වචනයන් හා සබැදුනු දැනුම විසින් විනාශ කර දමන සොබා දහම විසින් පෙරලා අප විනාශ කරන බව නොකිවමනාය. එබදු සංකල්ප අපගේ චින්තනය සමග බද්ධව පවතී. අපේ සංකල්ප වලට අපේ දෙය දෙවැනි තැනට දමන අපි බටහිර දැනුම හා නිර්වචන වන්දනාමාන කරමින් එයින් ලෝකය නිර්වචනය වන්නේ යයි සිතමින් යන මෙම ගමන ගැන දෙවරක් සිතීමට කාලය එලඹ ඇත. 


උඩුගං බලා පිහිනීමක් විය හැකි වුවත් අනියම් ආකාරයකින් හෝ බහුජාතික සමාගම්වල ඩිරෙක්ටර් බඩ තඩියන්ගේ බඩකට පිරවීමටත් ලෝකය විනාශ කිරීමටත් දායක නොවී ඒ වෙනුවෙන් උත්සාහ මාත්‍රයක් හෝ දරා මිය යාම යහපති.


 ඒ අනුව බලන කල ආර්ථික විද්‍යාවේ ද එනයින් ආර්ථික විද්‍යාව තුලින් ව්‍යුත්පන්න වන හා ආර්ථික ය සමග සබැදුනු ක්ෂේත්‍රයන් ගේ ද මූලික අරමුණ හා පරමාර්ථය මෙය බවට පත් වෙයි. ආර්ථිකමය, සංස්කෘතිමය, දේශපාලනික හෝ අන් මොනම යම් ක්ෂේත්‍රයක් වත් වියුක්ත නොවන නිසාත් මේ සියලු දේ සංයුක්ත නිසාත්, තවද මේ සියලු ක්ෂේත්‍රයන් එකට ගැට ගසා තබන යෝධ හුයක් හා ප්‍රධාන සාධකයක් වන ආර්ථිකයට එකී ක්ෂේත්‍රයන් අතුරින් මූලික තැනක් හිමි වන නිසාත් (මාක්ස් හා එන්ගල්ස් සමස්ත මානව ඉතිහාසය හා සමාජ ක්‍රියාකාරකම් ආර්ථිකයට ඌණනය කරන්නේ මේ නිසාවෙනි. මාක්ස් ගේ මේ ක්‍රියාව කොතරම් ගොබ්බ වුවත් අපට ග්‍රහනය වන ලෝකය තුල ආර්ථිකයට ඇති වැදගත් කම මෙයින් පිලිබිඹු වෙයි. ) එකී සියලු ක්ෂේත්‍රයන් තුල ආර්ථික විද්‍යාවේ මෙම ගොබ්බ,මුග්ධ,පටු,ආත්මාර්ථකාමී හා විනාශකාරී සංකල්පය හොල්මන් කරයි. 


විනාශකාරී සිද්ධිය වන්නේ ආර්ථික පද්ධතියේ හරය එසේ වන විට එහිලා අනෙකුත් ක්ෂේත්‍ර වලට පවතින සබදතාවයන් නිසා රටක ජාතික ප්‍රතිපත්තිද දෙශපාලනික ප්‍රතිපත්තිවලද හරය එය බවට පත් වීමය. මිනිසුන්ට අසීමිත අවශ්‍යතා කෘතිමව ජනනය කිරිමටත් එම අවශ්‍යතා ලුහු බැද යාමටත් අවසානයේ විනාශ මුඛයට ඇද වැටීමටත් ඒවා දායක වීමය.


  එසේ නොකලහොත් අපට 'දියුණු' වීමට නොහැකිය. මේ දියුණුවද අප පිට පැටවූ මිත්‍යාවකි. අපේ ඕනෑම පොඩි එකෙකුගෙන් ඇසූ විට අප දියුණු වෙමින් පවතින රටකි යයි පිලිතුරු දෙනු ඇත. එම දියුණුව මනින්නේද බටහිරයන්ගේ නිර්ණායකයන් වලිනි. එක් මිනිසෙකුට පවතින වාහන ගණනද, ගෙදරක තිබෙන ටෙලිවිශන් ගණනද යනාදී මෙකී නොකී නිර්ණායක මහ තොගයක් ඇත. මේවායේ වැරද්දක් නැත. එහෙත් දියුණුව යනු එයයයි අපි අර්ථ දක්වන්නේ කෙසේද. සෑම විටෙකම භෞතීකය හමුවේ ආධ්‍යාත්මය දෙකට දමන ඔවුන් සතුට යනු භෞතිකය තුලින් ජෙනරේට් කල හැකි දෙයක් යයි මුලාවක සිටිති. මෙම මුලාවේ තරම විශ්‍රාම ගොස් දරුවන්ගෙන් ඈත්ව තනිව වෙසෙන ඇමෙරිකානුවෙකු හා විස්තෘත පවුල් තවමත් ශේශව පවතින ලංකාවේ සිය දරුවන් මුණුබුරන් සමග කෙලිදෙලෙන් පසු වන වැඩිහිටියෙකු සතු භෞතික වස්තූන් ප්‍රමාණයත් ඔවුන් සතු සතුටේ ප්‍රමාණයත් සසදා බැලූ විටය. මොවුන් ගෙන් වඩා දියුණු කවුද යන්න නැවත නැගිය යුතු ප්‍රශ්නයකි.


  විහුලුව වන්නේ අභිමානවත් චින්තනයකට හා සංස්කෘතියකට උරුමකම් කියන අප ද මෙකියනු ලැබූ දියුණුව පරම සත්‍යයයිද එයින් ලෝකය නිර්වචනය වන්නේ යයිද සිතමින් බ්‍රේන් වොශ් වීමයි.


   උදාහරණයක් ලෙස කුඩා කල අපට හෙවත් ධරණීය සංවර්ධනයේ අර්ථ දැක්වීම උගන්වන විට අපි කට බලියාගෙන අසා සිටියෙමු. 'සීමිත ස්වභාවික සම්පත් මතු පරපුරටත් ඉතිරි කරමින් අරපරිස්සමින් භාවිත කරමින් මිනිසා සදහා යොදා ගැනීමය'. විද්‍යාවේ අරමුණ 'මිනිසාගේ ජීවිතය වඩාත් පහසු කිරීම'ය.


අපි ලෙස ධරණීය සංවර්ධනය ගමු. මෙය ලෝකයේ ඇති ලොකුම බොරු වලින් එකකි. මතුපිටින් ස්වභාවික සම්පත් ඉතිරි කරමින් ලස්සනට යන ගමනක් මෙන්ම පරිසර හිතකාමී බවක් පෙනෙන්නට ඇත. නමුත් මෙයින් කියන්නේ කුමක් ද? අප විසින් සම්පත් ඉතිරි කල යුත්තේ අප සොබා දහමේ කොටසක් නිසාවත් එය කාබාසිනියා කිරීමට අපට අයිතියක් නැති නිසාවත් නොව අනාගත මනුශ්‍යයන් විසින් ද කාබාසිනියා කිරීමට ඉතුරු කිරීමටය. පෙරදිග ජාලගත චින්තනය හා මෙය සම්පූර්ණයෙන් වෙනස් සංකල්ප දෙකකි. පැරණි ගොවි තැනේදී අස්වැන්නෙන් කොටසක් සතුන් සදහා ඉතිරි කලේද කෘශිකර්මය සදහා යොදාගත් ජලය නැවත පරිසරයට මුදා හැරියේද පරිසරය සුරැකීමට නොව අපිද පරිසරයේ කොටසක් නිසා එය අයථා පරිහරණයට අපට අයිතියක් නැති නිසාය. සොබාදහමේ විශාල ජාලයක් තුල අප එක් කොටස්කරුවෙකු පමණක් බව අපගේ විඥ්ඥානය තුල ගැබ්ව පැවති නිසාය. 


   එම නිසා ඔය කියන ධරණීය හුදු සංවර්ධනය වංචාවක් පමණි. මිනිසා සොබා දහමේ ස්වාමියාය යන සංකල්පය තිබෙන තාක් මිනිසා සොබා දහම විනාශ කරනු ඇත.


 අප ලිං ගෑට්ටෙන් අහස බලා ලිං ගෑට්ටෙන් පෙනෙන්නේ පරම සත්‍ය යයිද ඉන් එහාට කිසිවක් නැත යයි ද මුලාවට පත් වූ කාලය අවසාන කල යුතුය. නෑවතත් කීමට ඈත්තේ උඩුගං බලා පිහිනීමක් විය හැකි වුවත් අනියම් ආකාරයකින් හෝ බහුජාතික සමාගම්වල ඩිරෙක්ටර් බඩ තඩියන්ගේ බඩකට පිරවීමටත් ලෝකය විනාශ කිරීමටත් දායක නොවී වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් උත්සාහ මාත්‍රයක් හෝ දරා මිය යාම යහපති බවය.

4 comments:

  1. බටහිර ලෝකය හා පෙරදිග ලෝකයේ විකාශනය හා වර්ථමාන තත්වයට මෙම චින්තන ධාරා දෙකේ වෙනස සෘජුව බලපා ඇත.අසීමිත අවශ්‍යතාවයන් සැපිරීමට සීමිත සම්පත් යොදා ගැනීම පිළිබද ඔවුන් උත්සුක වෙද්දී පෙරදිගයන් ක්‍රියාකළේ ආධ්‍යාත්මය සමග ලෞකික ජීවිතය ගොඩනගා ගැනීමටයි.
    කොතරම් හඹා ගියත් හමු නොවන "සතුටක් " පිලිබඳ අවබෝධයකට ඔවුන් පැමිණියේ ජීවිතයට ආකෘතිය ලබාදුන් ආගමික පසුබිම් තුලින්මය.
    තම රටේ පැවැත්ම ඉහල දමාගත යුතුයයි සිතූ ඔවුන් අධිරාජ්‍යවාදයෙන් සීමිත සම්පත් පුළුල් කර ගැනීමට ක්‍රියා කළහ.ප්‍රතිඵලය පෘතග්ජන ස්වභාවය හදුනාගෙන නිරාමිස සතුටක් විදි අවිහිංසාවාදී ජනකොට්ටසයක්
    අතරමං කර දැමීමයි.එදා පෘතුගීසින් අප මවු රටට ගොඩ බහින විට එක අතක බයිබලයත් අනෙක් අතේ කඩුවත් තිබුනේ අධ්‍යාත්මයෙන් හඹා යන කාබාසනියාකාරී පිළිවෙත් සපිරීමටයි.

    උන් කාලතුවක්කු බයිනෙත්තු හදද්දී අපි බුදු පිළිම ,සඳකඩපහන නෙළුවෙමු...
    උන් අධිරාජ්‍ය ගොඩනගද්දී අප රටේ ස්වරීභාවය පමණක් තැකුවෙමු,සතුරු රජවරුන්ටත් සොහොන සාදා ගරු කළෙමු...
    උන් බයිබල පටවද්දී අප "එව බලව" ලෙස අවිහිංසාවාදීව ධර්මය ප්‍රඥානවන්තයන්ට ධර්මය විවෘත කර දුනෙමු...

    ඒ ප්‍රවාහ දෙකේ වෙනසයි,
    මේ අධිපරභෝජනවාදී බටහිරයන් අර්තදක්වාගනු ලැබූ සංවර්ධන ගමනේදී ඔවුන් අසරණ කරන තත්වයන්ට මුහුණ දීමට සිදුවේ.
    ඒ නිසාම ඔවුන් ධරණීය සංවර්ධනය,මානව හිමිකම්,කාන්තා අයිතිවාසිකම්,ළමා අයිතිවාසිකම්,හරිත ගම්මාන ,පෙම්වතුන්ගේ දින,මවු වරුන්ගේ දින..ආදී අපබ්‍රංස 'events' "අර්ථ දක්වාගෙන" සිටී.

    යුතුකම් ඉටුවන සමාජයක අයිතිවාසිකම් ගැන වලිකෑමට අවශ්‍ය නොවේ...සිංහල කියවන ඔබ සොයා යා යුතු සත්‍යය ඈතක නොව ඔබ පරිසරයේම ඇති බව වටහා ගත යුතුය.
    ඉහත දක්වා ඇති සහ නානාප්‍රකාර සංකල්ප සදහා පිළිතුරු පෙරදිග සමාජයේ හැර පද්ධතීන් තුලින් උරුම වේ...සිගාලෝවාද සූත්‍රය,වසළ සුත්‍රය ආදී අතිශය ප්‍රායෝගික ආධ්‍යාතිමික උරුමයන් තුලින් නිවුන අපට එවැනි අපබ්‍රංස පැටවීම අභාග්‍යයකි.

    මානව හිමිකම් රකින,සත්ව හිංසනය පිටුදකින,මවුපිය දින ඉහළින් සමරන රටවලින් අපගේ මෙම වටිනාකම් ඈත් කරනුවස් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වන බව මදක් විමසිල්ලෙන් සොයා බලන්න...
    අද බොහෝ නගර වල "ළමා හිංසනය තවත් ඉවසා නොසිටින්න" ආදී ලෙස විශාල කටවුට් ප්‍රදර්ශනය කෙරෙන්නේ සැබෑවටම සමාජයේ පිලිබිබු වන පරිහානියක අවස්ථාවක් නොවේ.අප හර පද්ධතීන් අපෙන් තුරන් කර අප නොදියුණු මිලේච්ච ජාතියක් බව අපේම සමාජගත කරනු වස් විවිධ විවිධ සැලසුම් සහගත කණ්ඩායම් විසින් කරන ලබන වැඩයි .අප වටහා ගත යුත්තේ ඊනියා සංකල්ප අනුව සමාජය අතරමං කිරීම අසාර්ථක බවයි.
    ඇමරිකාවේ කුඩා දරුවකුට දඩුවමක් දුන් දරුවකුට මවට විරුද්ධව පොලීසියට පැමිණිලි කල හැක...එසේ වන තත්වයට අසහනකාරී ඊනියා මවු වරුන් බිහි වුයේ කෙසේද?තම මවට(අප සමාජයේ 'මව' නොවන බව වටහා ගන්න )විරුද්ධව පැමිණිලි කිරීමට දරුවාට මානසිකත්යක් හැදුනේ කෙසේද?
    සමාජ ක්‍රියාදාමයකින් අහිමි වු මානව ගුණාංග "නීතිය " මගින් බලෙන් කැවීම විහිලු සහගතය,එය හරියට මැදපෙරදිග පිරිමින්ගේ කාමුකත්වය යටපත් කිරීමට ගැහැණුන්ගේ ඇග වැසීම වැනිය.

    මෙවැනි ඊනියා සංවර්ධනයක් අපද පිළිගැනීම විහිලු සහගතය
    අධිරාජ්‍යවාදීන් විසින් බලහත්කාරයෙන් අපෙන් විසිකරන ලද අපේ වටිනාකම් පසෙකලා ඔවුන් පටවන ලද දැනුම මත අප අතරමං වු අවාසනාවන්ත තත්වයට වැටීම මීට හේතුවයි.


    ඔබ පෙන්වන 'අහස' කරා යාම වෙනුවෙන් උත්සාහ මාත්‍රයක් හෝ දරා මිය යාම යහපති බව සියල්ලෝම වටහා ගනිත්වා...

    ReplyDelete
  2. අප සාමන්‍යපෙළ පන්තියේදී පාඩමක තිබුණු රතු ඉන්දියානු නායක සියැටල්ගේ කතාවක් මේ සමග උපුටා දක්වමි.
    බටහිරයන්ගේ කාබසිනියාකාරී සංවධනයේ ඇති නොදැමුණු බවත් ,දැමුණු කොටසට(ඔවුන්ට අනුව ම්ලේච්ච හෝ නොදියුණු ) කරන අසාධාරණයත් මනාව පෙනේ...
    "වොෂිංටන් නගරයේ සිටින ශ්‍රේෂ්ඨ නායකයාණන් අපගේ ජන්ම භූමිය මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරමින් අප වෙත හසුන්පත් එවා ඇත. එතුමා අපට සුබ පතන අතර මිත්‍රත්වයේ දෑතද දිගු කරයි. අපගේ මිත්‍රත්වයෙන් එතුමාට අල්ප වූ හෝ ප්‍රයෝජනයක් නැති බව අපි දනිමු. එහෙත් එතුමාගේ කාරුණිකභාවය අපි අගය කරමු.

    කෙසේ වුවත් අපි ඔබගේ ඉල්ලීම සලකා බලන්නෙමු. මක්නිසාදයත් මේ භූමිය අප ඔබට විකුණන්නේ නැත්නම් ඔබගේ සුදු මිනිසුන් තුවක්කු අමෝරාගෙන විත් අපගේ භූමිය උදුරා ගන්නා බව අපි දනිමු. නිල් අහසත් පොළොවේ උණුසුමත් විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නුහුරු වන්නේය. සුළෙඟ් නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම් ඒවා මිල කිරීමට හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත.
    මේ මිහිතලයේ සෑම බිම් අඟලක් ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක හැම කිනිත්තක්ම, වැලිතලාවලින් පිරී ගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිදුම් වලාවක්ම, සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පූජනීය වස්තූහු වන්නෝය. ගස් අතරින් විහිදී යන සෑම අඩිපාරක්ම මිනිසා පිළිබඳ ස්මරණය රැගෙන යන්නේය. සුදු මිනිසුන් වූ ඔබගේ මළගිය ඇත්තෝ මරණයෙන් පසු තම මව්බිම අමතක කොට දෙව්ලොව සැරිසරති. මහ පොළොව රතු මිනිසාගේ මෑණියන් වන බැවින් අපගේ මළගිය ඇත්තෝ මේ සුන්දර මිහිතලය අමතක නොකොට මෙහිම රැඳෙන්නෝය. අපි මිහිතලයේ කොටසක් වන්නෙමු. මිහිතලයද අපගේම කොටසක් වන්නේය. සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය. පිනිමුවා, අශ්වයා, මහරාජාලියා, මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. ගිරිශිඛරද, තණ බිම්වල තෙතමනයද, පෝනියාගේත් මිනිසාගේත් සිරුරේ උණුසුමද යන මේ සියල්ලම එකම පවුලකට අයත් වන්නේය.

    වොෂින්ටනයේ ශ්‍රේෂ්ඨ නායකයාණන් අපගේ භූමිය මිලට ගැනීමට කැමැත්ත පළ කරමින් කරන ඉල්ලීම අපට දරාගන්නට නොහැක්කකි. ශ්‍රේෂ්ඨ නායකයාණෝ අපට සුවපහසුවෙන්, සැනසිල්ලේ ජීවත්වීමට ස්ථානයක් ලබා දෙන බව දන්වා සිටිති. එතුමාණන් අපගේ පීතෘවරයා වනු ඇත. එවිට අපි ඔහුගේ දරුවන් බවට පත්වෙමු. එනිසා අපගේ භූමිය මිලදී ගැනීම පිළිබඳ ඔබතුමාගේ යෝජනාවට අපගේ අවධානය යොමු කරන්නෙමු. එය අපට එතරම් සුවදායී කාර්‍යයක් නොවන්නේ මේ භූමිය අපට පූජනීය වස්තුවක් වන හෙයිනි. ගංගා දිගේ ගලා බස්නා දිදුලන දිය දහර හුදු ජලයම නොව අපගේ මුතුන්මිත්තන්ගේ රුධිරයයි. අප ඔබට අපගේ භූමිය විකුණුවහොත් එය අපට ශුද්ධ වස්තුවක්ව තිබූ බව ඔබගේ මතකයේ තබා ගත මැනවි. පොකුණුවල පැහැදිලි ජලතලාවේ පතිත වන සෑම අඳුරු ඡායාවක්ම කියාපාන්නේ මගේ වර්ගයාගේ ජීවන සිදුවීම් හා ස්මරණ බව ඔබේ දරුවන්ට වටහා දෙනු මැනවි. මේ ජලය නගන මිමිනුම මගේ මුතුන්මිත්තන්ගේ කටහඬ වන්නේය."

    ReplyDelete
  3. "

    ගංගාවෝ අපගේ සොහොයුරෝ වෙති. ඔවුහු අපගේ පිපාසය සංසිඳවති. අපේ ඔරුද පාරුද ගෙන යති. අපගේ දරුවන් පෝෂණය කරති. අපි මේ භූමිය ඔබට විකුණුවහොත් මේ ගංගාවන් අපගේත් ඔබගේත් සහෝදරයන් බව අමතක නොකරනු මැනවි. ඔබේ දරුවන්ටද එය කියාදෙනු මැනවි. එතැන් සිට වෙනත් ඕනෑම සහෝදරයකුට දක්වන කරුණාව ගංගාවලටද දක්වනු මැනවි.

    ගිරි ශිඛරය වසා සිටින හිමිදිරි මිහිදුම, උදාවන හිරු ඉදිරියේ පලා යන්නාසේ සුදු මිනිසාගේ ආක්‍රමණය ඉදිරියේ රතු මිනිසා හැමවිටම පලා ගොස් ඇත. එහෙත් අපගේ පියවරුන්ගේ භස්මාවශේෂ අපට පූජනීය වන්නේය. ඔවුන්ගේ සොහොන්බිම් අපට පූජනීය බිම් වන්නේය. එහෙයින් මේ කඳු මේ තුරුලතා සහ මේ බිම අපටම කැපවූ භූමියකි. සුදු මිනිසුන් වන ඔබ අපගේ සිරිත් විරිත් නොදන්නා බව අපි දනිමු. ඔබට එක් බිම් කඩක් තවත් බිම් කඩකට වඩා වෙනස් නොවේ. රාත්‍රී කාලයේ පැමිණ භූමියේ තිබිය යුතු දේ පැහැර ගෙන පලායන ඔබගේ මිනිස්සු මේ භූමියට පිටස්තරයෝ වන්නාහ. පොළොව ඔවුනට සහෝදරයෙකු නොව සතුරෙකි. භූමිය අත්පත් කරගැනීමෙන් පසු ඔවුහු එය අමතක කොට තවත් බිම් පෙදෙස් යටත් කරගනිමින් ඉදිරියට ඇදෙති. ඔවුහු තම පියවරුන්ගේ සුසාන කිසිදු තැකීමකින් තොරව පසුකර යති. ඔවුහු දරුවන්ගෙන් පොළොවද උදුරා ගනිති. ඔවුහු තම පියවරුන්ගේ සුසානද තම දරුවන්ගේ ජන්ම උරුමයද අමතක කරති. ඔවුන් තම මවටත්, සහෝදරයාටත් මහ පොළොවටත්, ඔහුගේ අහස් තලයටත් සලකන්නේ මිලට ගතහැකි, කොල්ලකෑමට හෝ විකිණීමට හැකි බැටළුවන් හෝ දීප්තිමත් පබළු වැනි දෑ ලෙසිනි. ඔවුන්ගේ කෑදරකම විසින් මේ භූමියෙහි සාරය උරා බොනු ලැබීමෙන් පසු ඉතිරි වන්නේ හිස් කාන්තාරයක් පමණි. අපගේ සිරිත් විරිත් ඔබගේ සිරිත් විරිත් වලට වඩා වෙනස් වන්නේය. ඔබගේ නගරවල දර්ශනය රතු මිනිසාගේ නෙත්වලට වේදනාව ගෙන දෙන්නේය. එසේ වන්නේ රතු මිනිසුන් වන අප වනචාරී ම්ලේච්ඡයන් වන නිසා විය හැකිය. සුදු මිනිසාගේ නගරවල නිසංසල තැනක් සොයාගත නොහැකිය. ඔබගේ නගරයන්හි වසන්ත සමයේ තුරුලතාවල දළු කොළ විකසිත වන හඬ හෝ කුඩා කෘමි සතුන්ගේ පියාපත්වල සිලි සිලි හඬ සවනත වැකෙන්නේ නැත. එහි ඇත්තේ ඝෝෂාව පමණකි. එය දෙසවනට මහත් හිරිහැරයක්ම වන්නේය.

    මට එසේ හැෙඟන්නේ මගේ නොතේරුම්කම නිසා විය හැකිය. ම්ලේච්ඡයන්ට එබඳු දේ වටහාගැනීම අපහසු වන්නේය. එහෙත් උලමා ගයන හුදකලා ගීතය හෝ රාත්‍රියේ පොකුණක් අසබඩ මැඩියන්ගේ තර්ක විතර්ක වැනි දෑ ඇසීමට නොලැබෙන ජීවිතයේ හරයක් ඇත්තේද? මම නූගත් රතු ඉන්දියානුවෙක්මි. එනිසා මට මේවා තේරුම්ගත නොහැකිය.

    සිරිපොද වැස්සේ තෙමෙන දේවදාර තුරු මුදුනින් නැගෙන සුවඳ, මඳ මුදු පවනේ පාවී අපගේ ගත සිත සනසන්නේය. සුළඟ රතු මිනිසාට බෙහෙවින් අගනේය. සත්තු, තුරුලිය, මිනිස්සු යන අපි සියලූදෙනාම එකම ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතය ගැනවත් නොදන්නෝය. මියැදෙමින් සිටිනවුන් සේ ඔවුහු සුළෙඟ් සුවඳ නොදනිති. අප අපගේ භූමිය ඔබට විකුනුවහොත් මේ සුළඟ අපට බෙහෙවින් වටිනා එකක් වූ බව අමතක නොකළ මැනවි. අපගේ මුතුන්මිත්තන්ට ජීවය ලබාදුන් සුළඟම ඔවුන්ගේ අවසාන හුස්ම ආපසු ලබාගත්තේය. ඒ සුළඟම අපගේ දරුවන්ගේ ප්‍රාණ වායුව වන්නේය. ඔබ එය ශුද්ධ වස්තුවක් ලෙස ආරක්‍ෂා කළ යුතුය. තණපත් අතර පිපි කුසුමින් මකරන්දය උරාගෙන තණ බිම් හරහා හමන මඳ සුළෙඟ් පහස විඳීමට ඔබටද හැකිවනු නොඅනුමානය."

    ReplyDelete
  4. "

    එසේ නම් අපගේ භූමිය මිලට ගැනීම සඳහා ඔබ කරන යෝජනාවට අපගේ අවධානය යොමු කරන්නෙමු. ඒ එක් කොන්දේසියක් යටතේය. සුදු මිනිසුන් වන ඔබ මේ භූමියේ ජීවන් වන සියලූම සතුන් ඔබගේම සහෝදරයන් ලෙස සලකන බවට පොරොන්දු විය යුතුය.
    මම වනචාරී ම්ලේච්ඡයෙක්මි. ඉන් බාහිර කිසිවක් මට නොවැටහේ. ප්‍රෙයරි තණ බිම් හරහා ගමන් කරන දුම්‍රියක සිට වෙඩි තබා මරා දමන ලද, කුණු වී යන දහස් ගණන් මී හරකුන්ගේ මළ සිරුරු මම දැක ඇත්තෙමි. මී හරකාට වඩා දුම්‍රිය වැදගත් වන්නේ කෙසේදැයි මට වැටහෙන්නේ නැත.

    තිරිසන් සතුන්ගෙන් තොර ලොවක මිනිසුන්ට ජීවත් විය හැක්කේද? සියලූ තිරිසන් සතුන් විනාශ වී ගියහොත් ජීවිතයේ දැඩි හුදකලා බවින් මිනිසාද විනාශ වී යනු ඇත. ඒ තිරිසනුන්ට සිදුවන කුමක් වුවත් මිනිසාටද ඉක්මනින්ම සිදුවන නිසාය. ලෝකයේ පවත්නා සියලූ දේ අතර ඇත්තේ එකිනෙකට බැඳුනු ඥාතිත්වයකි.
    ඔබගේ දරුවන් දෙපයින් නැගී සිටින්නේ අපගේ මුතුන්මිත්තන්ගේ භස්මාවශේෂයෙන් පෝෂණය වූ භූමියක බව ඔවුන්ට පහදා දෙනු මැනවි. භූමිය අපගේ මාතාවයි. මව්බිමට සිදුවන ඕනෑම හොඳක් හෝ නරකක් එහි ජීවත්වන දරුවන්ටත් උරුම වන්නේය. මිනිසා භූමියට කෙළ ගැසීමෙන් කරන්නේ තමාටම කෙළ ගසාගැනීමකි. අප දන්නා පරිදි මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත්‍ය. පවුලේ සියලූදෙනා එකම ලේ බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලූ දෙයම එකට බැඳී තිබෙන බව අපි දනිමු.

    ජීවිතය නැමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ඔහු එහි නූල් පටක් පමණි. මිනිසා එම දැලට යම් හානියක් කරතොත් ඒ තමාටම කරගන්නා උපද්‍රවයකි.
    අප වර්ගයා වෙනුවෙන් පිහිටුවන්නේ යැයි ඔබ විසින් කියනු ලබන්නේ රක්‍ෂිත භූමියට යාම පිළිබඳව අපි ඊළඟට සලකා බලන්නෙමු. අපි එහි සාමයෙන් ජීවත් වන්නෙමු. මේ ඉතිරි වී ඇති සුළු කාලය කොතැනක හෝ ජීවත් වුවද අපට කම් නැත. අපගේ පරපුරේ වැඩි දෙනෙකු දැනට ඉතිරිවී නැත. තව ශීත ඍතු කීපයක් ගෙවී ගිය කල මේ මහා පොළොවේ ඔබ මෙන් බලසම්පන්න වීර ගෝත්‍රිකයන් වෙනුවෙන් වැලපීමට අප පරපුරෙහි කුඩා දරුවකු හෝ ජීවත් නොවනු ඇත. එය එසේ නම් මගේ මිනිසුන් වෙනුවෙන් දුක්වන්නේ ඇයි? ගෝත්‍ර සැදී තිබෙන්නේ මිනිසුන්ගෙනි. මිනිස්සු ජීවත්වී මියයති.
    අන්තිම රතු මිනිසාත් මේ පොළෝ තලෙන් අතුරුදන් වූ විට ඔවුන්ගේ මතකය තණබිම් හරහා පාවෙන වලාකුළක ඡායාවක් බවට පත්වූ විට මෙම තැනිතලා වන පෙත මගේ මිනිසුන්ගේ ජීවන සුවඳ ඉදිරියටත් රඳවාගනු ඇත. අපගේ මිනිසුන් මේ භූමියට ආදරය කළේ කිරි දරුවක් තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි."

    ReplyDelete