Saturday, February 4, 2012

නිදහස යනු....

මනුෂ්‍යයන් වන අප සියල්ල මනසින් නිර්මාණය කරන්නෝ වම්හ. ගති සිරිත්, ආචාර විධි, සදාචාරාත්මක ආකෘති, උස්පහත් භේද, දැනුම යන මේ සියල්ල අපගේ නිර්මාණ වේ. අපගේ සම්මුතීන් වේ. එසේ නිර්මාණය කරගත් සම්මුතීන් තුලින් අපි ලෝකය දකින්නෙමු. මෙම ආකෘති දේශයට, කාලයට සාපේක්ශ වන අතර එක් එක් ආකෘතීන් අතර පොදු සම්මතයන් මෙන්ම වෙනස්කම්ද ඇත. අපගේ සංස්කෘතිය බුද්ධ දර්ශනයෙන් ආභාශය ලැබූ අතර නිර්වාණය අවසානය පරමාර්ථ කොටගත් සදාචාරාත්මක ආකෘතියක් අප ගොඩ නගාගෙන ඇත්තෙමු.(නමුත් සිංහල සංස්කෘතිය යනු බුද්ධ දර්ශනයෙන් අභාශය ලැබූවක් මිස බුද්ධ දර්ශනය නොවන බවද එහි ද පිළිකෙව් කල යුතු දුර්වලතා පවතින බවද අවධාරණය කල යුතුය.)
ඉන්දියානුවන් ගේ සදාචාරාත්මක ආකෘතිය බ්‍රහ්මන් එල්ල කොටගත් එකක් වන අතර බටහිරයන්ගේ එය ස්වර්ගය ඉලක්ක කොට ගත් එකක් වෙයි. මෙම සදාචාර පද්ධති කාලයාගේ ඇවෑමෙන් නීති පද්ධති බවට පරිවර්තනය වන අතර අප සිත් තුල යථාර්ථයක් ලෙස මුල් බැස ගනී. ලෞකික සැපත හා ස්වර්ගය තුල ලෝකෝත්තර සැපත අරමුණු කොට ගත් බටහිර සදාචාරාත්මක හා නීති පද්ධතිය සමග ගණිකා නිවාස හෝ වයෝවුර්ධ දෙමාපියන් පෝශණය නොකිරීම සංගත වන්නේද ( එතරම් අවුලක් නොවන්නේද ) සිංහල හෝ දමිළ සංස්කෘතිය තුල එය සංගත නොවන්නේද එම නිසාය. තවද දමිළ සංස්කෘතිය හා සදාචාරාත්මක පද්ධතිය තුල හින්දු ආගමේ බලපෑමද සමග සත්ව පූජාව සංගත වන්නේද සිංහල සංස්කෘතිය තුල එය සංගත නොවන්නේද එම නිසාය.


බටහිර අධිරාජ්‍යවාදය සමග සිදු වූ සංස්කෘතික ඝට්ඨනය ද සමග මෙම සදාචාර පද්ධතීන්ගේ මුසුවීමක් සිදු විය. ඔවුන් විසින් අපට කෘතිමව ඇති කොට ගිය අපගේ දේශයට, දේශගුණයට හෝ ආගම සමග සංගත නොවන්නා වූ ආචාර විධි හා සංස්කෘතික රාමූන් තුල අප තවමත් චින්තන වහලුන් වී ඇත්තෙමු. එම නිර්ණායක තුලින් උසස් පහත් භේද මනින්නෝ වෙමු. එම රාමූන් පරම සත්‍යයන් යයි ද එතුලින් ලෝකය නිර්වචනය වන්නේ යයිද සිතන්නෙමු.
උදාහරණයක් ලෙස හැදි ගෑරුප්පුවෙන් කෑම අපගේ දේශගුණය සමග කොතරම් අසංගත වුවත් කන්නා හා නොකන්නා අප මනසින් වර්ගීකරණය කරන්නෙමු. කලිසම හා සරම මනසින් වර්ගීකරණය කරන්නෙමු. පොශ් කඩයකට ගොස් කඩ්ඩෙන් කෑම ඉල්ලන්නා හා සිංහලෙන් ඉල්ලන්නා වර්ගීකරණය කරන්නෙමු. අවිඥ්ඥානවකවම අප විදෙස් චින්තනයක වහලුන් වී ඇත්තෙමු.
අතෙන් කෑම හැන්දට වඩා උසස් වන්නේ කෙසේද? මේ සියල්ලම අප මනසින් තනා ගත් සීමාවන් වේ. අප විසින් කල යුත්තේ අපගේ දේශයට හා ආර්ය අශ්ඨාංගික මාර්ගය සමග සංගත වන ආචාර ධර්ම පද්ධතියක් තනා ගැනීම හා එතුලින් ලෝකය දැකීමට මානසික පරිවර්තනයක් ඇති කර ගැනීමය. එසේ නැතිව බොරුවට නිදහස් උලෙලක් තිබ්බාට කොඩියක් වාහනේ ගසා ගත්තාට අප නිවහල් ජාතියක් වන්නේ නම් නැත. ලොව කිසිදු ආචාර ධර්ම, සංස්කෘතියකට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ චින්තනයක් අපට උරුම බවත් අප ලෝකය දැකිය යුත්තේ එතුලින් බවත් යළි සිහියට නගා ගැනීමට කාලය එලඹ ඇත.

Friday, February 3, 2012

ලිං ගැට්ටෙන් අහස බැලීම....

  මට Economics යන්නට අන්තර්ජාලයේ දුටු අර්ථ දෑක්වීමක් නිසා මෙය ලිවීමට සිත් විය. එහි ආර්ථික විද්යාවේ අර්ථ දෑක්වීම ලෙස 'ආර්ථික විද්‍යාව යනු මිනිසාගේ අසීමිත අවශ්‍යතාවයන් සැපිරීමට සීමිත සම්පත් යොදා ගන්නේ කෙසේද' යනුවෙන් සදහන් වෙයි. තවත් විවිධ නිර්වචනයන් තිබුණද ඒ සියල්ලගේම මූලික හා මුඛ්ය හරය මෙය විය. මෙය කොහෙන් ආ කවුරු කී මගුලක් දැයි නැවත පොඩ්ඩක් සිතා බැලිය යුතුය. 



කොහෙන් ආවත් අම්බානකට බ්‍රේන් වොශ් වී ඇති අපේ අන්තර් විඥ්ඥානයන් විසින් මෙබදු අර්ථ දැක්වීම් වල දැක්වීම් වල දැඩි වාස්තවිකත්වයක් ( අපෙන් පරිබාහිරව පවත්නා පරම සත්‍යයක් )දැකීමට අපට බල කරයි. එබදු අර්ථ දැක්වීම් පරම සත්‍යයක් යයි ද එමගින් ලෝකය හා ඒ හා බැදුනු සංසිද්ධීන් නිරවචනය වන්නේ යයිද අපි අවිඥ්ඥානකව පිලිගනිමු. ඉන් එහාට විකල්පයක් ගැන සිතීමට අපේ තුන් හිතකවත් නැත ( සත්‍යයෙන් එහාට මොනව හොයන්නද ). ආර්ථික විද්‍යාව හා සමාජ විද්‍යාව ආදී සාපේක්ශක බව යම් තරමකට හෝ පෙනෙන ක්ෂේත්‍රයන්හි අවාස්තවිකත්වය පොඩ්ඩක් මොලේ කාල් ගා බැලූ විට පෙනෙන්නට ගනිතත් ගුරුත්වාකර්ශණය හෝ අයින්ස්ටයින් ගේ අවකාශ කාල වක්‍රය ගැනනම් එසේ සැක කරන්නටවත් අප ආස නැත. ඒවා සොබා දහමේ පාරිශුද්ධ නීති ලෙස අපේ ගැති මානසිකත්වයන් විසින් පිලි ගෙන ඇති බැවිනි. එහෙත් ඒවායේද සමාජවිද්‍යාවට වඩා ඇති පරම සත්‍යයක් නැත. 


මිනිසාගේ අසීමිත අවශ්‍යතා සැපිරීමට සීමිත සම්පත් වලට තබා අසීමිත සම්පත් වලටවත් නොහැකි බව පෙරදිග අපට අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නැත. සොබා දහමේම කොටසක් වන අපට එසේකිරීමට අයිතියක් නැතුවාක් මෙන්ම මෙබදු පටු චින්තනයන් හා නිර්වචනයන් හා සබැදුනු දැනුම විසින් විනාශ කර දමන සොබා දහම විසින් පෙරලා අප විනාශ කරන බව නොකිවමනාය. එබදු සංකල්ප අපගේ චින්තනය සමග බද්ධව පවතී. අපේ සංකල්ප වලට අපේ දෙය දෙවැනි තැනට දමන අපි බටහිර දැනුම හා නිර්වචන වන්දනාමාන කරමින් එයින් ලෝකය නිර්වචනය වන්නේ යයි සිතමින් යන මෙම ගමන ගැන දෙවරක් සිතීමට කාලය එලඹ ඇත. 


උඩුගං බලා පිහිනීමක් විය හැකි වුවත් අනියම් ආකාරයකින් හෝ බහුජාතික සමාගම්වල ඩිරෙක්ටර් බඩ තඩියන්ගේ බඩකට පිරවීමටත් ලෝකය විනාශ කිරීමටත් දායක නොවී ඒ වෙනුවෙන් උත්සාහ මාත්‍රයක් හෝ දරා මිය යාම යහපති.


 ඒ අනුව බලන කල ආර්ථික විද්‍යාවේ ද එනයින් ආර්ථික විද්‍යාව තුලින් ව්‍යුත්පන්න වන හා ආර්ථික ය සමග සබැදුනු ක්ෂේත්‍රයන් ගේ ද මූලික අරමුණ හා පරමාර්ථය මෙය බවට පත් වෙයි. ආර්ථිකමය, සංස්කෘතිමය, දේශපාලනික හෝ අන් මොනම යම් ක්ෂේත්‍රයක් වත් වියුක්ත නොවන නිසාත් මේ සියලු දේ සංයුක්ත නිසාත්, තවද මේ සියලු ක්ෂේත්‍රයන් එකට ගැට ගසා තබන යෝධ හුයක් හා ප්‍රධාන සාධකයක් වන ආර්ථිකයට එකී ක්ෂේත්‍රයන් අතුරින් මූලික තැනක් හිමි වන නිසාත් (මාක්ස් හා එන්ගල්ස් සමස්ත මානව ඉතිහාසය හා සමාජ ක්‍රියාකාරකම් ආර්ථිකයට ඌණනය කරන්නේ මේ නිසාවෙනි. මාක්ස් ගේ මේ ක්‍රියාව කොතරම් ගොබ්බ වුවත් අපට ග්‍රහනය වන ලෝකය තුල ආර්ථිකයට ඇති වැදගත් කම මෙයින් පිලිබිඹු වෙයි. ) එකී සියලු ක්ෂේත්‍රයන් තුල ආර්ථික විද්‍යාවේ මෙම ගොබ්බ,මුග්ධ,පටු,ආත්මාර්ථකාමී හා විනාශකාරී සංකල්පය හොල්මන් කරයි. 


විනාශකාරී සිද්ධිය වන්නේ ආර්ථික පද්ධතියේ හරය එසේ වන විට එහිලා අනෙකුත් ක්ෂේත්‍ර වලට පවතින සබදතාවයන් නිසා රටක ජාතික ප්‍රතිපත්තිද දෙශපාලනික ප්‍රතිපත්තිවලද හරය එය බවට පත් වීමය. මිනිසුන්ට අසීමිත අවශ්‍යතා කෘතිමව ජනනය කිරිමටත් එම අවශ්‍යතා ලුහු බැද යාමටත් අවසානයේ විනාශ මුඛයට ඇද වැටීමටත් ඒවා දායක වීමය.


  එසේ නොකලහොත් අපට 'දියුණු' වීමට නොහැකිය. මේ දියුණුවද අප පිට පැටවූ මිත්‍යාවකි. අපේ ඕනෑම පොඩි එකෙකුගෙන් ඇසූ විට අප දියුණු වෙමින් පවතින රටකි යයි පිලිතුරු දෙනු ඇත. එම දියුණුව මනින්නේද බටහිරයන්ගේ නිර්ණායකයන් වලිනි. එක් මිනිසෙකුට පවතින වාහන ගණනද, ගෙදරක තිබෙන ටෙලිවිශන් ගණනද යනාදී මෙකී නොකී නිර්ණායක මහ තොගයක් ඇත. මේවායේ වැරද්දක් නැත. එහෙත් දියුණුව යනු එයයයි අපි අර්ථ දක්වන්නේ කෙසේද. සෑම විටෙකම භෞතීකය හමුවේ ආධ්‍යාත්මය දෙකට දමන ඔවුන් සතුට යනු භෞතිකය තුලින් ජෙනරේට් කල හැකි දෙයක් යයි මුලාවක සිටිති. මෙම මුලාවේ තරම විශ්‍රාම ගොස් දරුවන්ගෙන් ඈත්ව තනිව වෙසෙන ඇමෙරිකානුවෙකු හා විස්තෘත පවුල් තවමත් ශේශව පවතින ලංකාවේ සිය දරුවන් මුණුබුරන් සමග කෙලිදෙලෙන් පසු වන වැඩිහිටියෙකු සතු භෞතික වස්තූන් ප්‍රමාණයත් ඔවුන් සතු සතුටේ ප්‍රමාණයත් සසදා බැලූ විටය. මොවුන් ගෙන් වඩා දියුණු කවුද යන්න නැවත නැගිය යුතු ප්‍රශ්නයකි.


  විහුලුව වන්නේ අභිමානවත් චින්තනයකට හා සංස්කෘතියකට උරුමකම් කියන අප ද මෙකියනු ලැබූ දියුණුව පරම සත්‍යයයිද එයින් ලෝකය නිර්වචනය වන්නේ යයිද සිතමින් බ්‍රේන් වොශ් වීමයි.


   උදාහරණයක් ලෙස කුඩා කල අපට හෙවත් ධරණීය සංවර්ධනයේ අර්ථ දැක්වීම උගන්වන විට අපි කට බලියාගෙන අසා සිටියෙමු. 'සීමිත ස්වභාවික සම්පත් මතු පරපුරටත් ඉතිරි කරමින් අරපරිස්සමින් භාවිත කරමින් මිනිසා සදහා යොදා ගැනීමය'. විද්‍යාවේ අරමුණ 'මිනිසාගේ ජීවිතය වඩාත් පහසු කිරීම'ය.


අපි ලෙස ධරණීය සංවර්ධනය ගමු. මෙය ලෝකයේ ඇති ලොකුම බොරු වලින් එකකි. මතුපිටින් ස්වභාවික සම්පත් ඉතිරි කරමින් ලස්සනට යන ගමනක් මෙන්ම පරිසර හිතකාමී බවක් පෙනෙන්නට ඇත. නමුත් මෙයින් කියන්නේ කුමක් ද? අප විසින් සම්පත් ඉතිරි කල යුත්තේ අප සොබා දහමේ කොටසක් නිසාවත් එය කාබාසිනියා කිරීමට අපට අයිතියක් නැති නිසාවත් නොව අනාගත මනුශ්‍යයන් විසින් ද කාබාසිනියා කිරීමට ඉතුරු කිරීමටය. පෙරදිග ජාලගත චින්තනය හා මෙය සම්පූර්ණයෙන් වෙනස් සංකල්ප දෙකකි. පැරණි ගොවි තැනේදී අස්වැන්නෙන් කොටසක් සතුන් සදහා ඉතිරි කලේද කෘශිකර්මය සදහා යොදාගත් ජලය නැවත පරිසරයට මුදා හැරියේද පරිසරය සුරැකීමට නොව අපිද පරිසරයේ කොටසක් නිසා එය අයථා පරිහරණයට අපට අයිතියක් නැති නිසාය. සොබාදහමේ විශාල ජාලයක් තුල අප එක් කොටස්කරුවෙකු පමණක් බව අපගේ විඥ්ඥානය තුල ගැබ්ව පැවති නිසාය. 


   එම නිසා ඔය කියන ධරණීය හුදු සංවර්ධනය වංචාවක් පමණි. මිනිසා සොබා දහමේ ස්වාමියාය යන සංකල්පය තිබෙන තාක් මිනිසා සොබා දහම විනාශ කරනු ඇත.


 අප ලිං ගෑට්ටෙන් අහස බලා ලිං ගෑට්ටෙන් පෙනෙන්නේ පරම සත්‍ය යයිද ඉන් එහාට කිසිවක් නැත යයි ද මුලාවට පත් වූ කාලය අවසාන කල යුතුය. නෑවතත් කීමට ඈත්තේ උඩුගං බලා පිහිනීමක් විය හැකි වුවත් අනියම් ආකාරයකින් හෝ බහුජාතික සමාගම්වල ඩිරෙක්ටර් බඩ තඩියන්ගේ බඩකට පිරවීමටත් ලෝකය විනාශ කිරීමටත් දායක නොවී වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් උත්සාහ මාත්‍රයක් හෝ දරා මිය යාම යහපති බවය.